Saturday, October 29, 2016

සමලිංගිකයින් සමාජ විරෝධීන්ද ??? by රමේෂා , http://magejointeka.blogspot.com

 

මිනිසුන්ගේ රුචි අරුචිකම් එ‍්‍කිනෙකට අසමාන වීම සාමාන්‍ය දෙයකි.ගැහැනියකගේ සහ පිරිමියකගේත් හුදෙක් සියළු මිනිසුන්ගේත් ලිංගික ආකර්ශනය එකිනෙකට වෙනස් වේ. ගැහැනියක ආකර්ශනය විය යුත්තේ පිරිමියෙකුට පමණක් බවත් පිරිමියෙකු ආකර්ශනය විය යුත්තේ ගැහැනියකට බවත් එය සම්මතය බවටත් සිතනා බහුතරයක් තවමත් අප අතර වෙයි..එනම් අප මිනිසුන් සියල්ල විශම ලිංගිකයින් විය යුතු බවට ඇති සමාජ සම්මතයයි.. නමුත් මිනිසුන්ගේ සිතුම් පැතුම් ආකර්ශනය හා සංවේදීතාවය එකිනෙකට වෙනස් වීමේ හේතුව මත මිනිසුන්ගේ ලිංගිකත්වය විශම ලිංගික/ සමාන ලිංගික හා සංක්‍රාන්ති ලිංගික යනුවෙන් විවිධ පැතිකඩවල් ඔස්සේ ගලා ගෙන යයි..මනුෂ්‍යයන් වන අප අනෙකාගේ ලිංගික තෝරා ගැනීමට ගරු කළ යුතු අතර සම්මතයෙන් එපිටට යාම විහිළුවට ළක් කළ යුතු කරුණක් හෝ අපහාසයට ළක් කළ යුතු කරුණක් නොවේ.. ආගම් බිහි වූයේද මිනිසුන්ගේ රුචි අරුචි කම් හා සිතුම් පැතුම් මෙන්ම විශ්වාසය මතය.බොහෝමයක් ආගම් වල හා මිනිසුන්ගේ විශ්වාසයන් අතර සමාන ලිංගිකයින් එසේත් නැත්නම් සමලිංගිකයින් වීම පවක් ලෙසින් දක්වා ඇත.දෙවිවරු හා ආගම් බිහි වූයේ මනුෂ්‍ය වර්ගයා බිහි වීමෙන් අනතුරුව බැවින් කිසි විටකත් මිනිසුන්ගේ ලිංගිකත්වය ප්‍රශ්ණ කිරීමට ආගමකට අයිතියක් නොමැති බව මගේ අදහසයි..
පිරිමියෙකු කාන්තා ඇදුමක් ඇදගෙන ගියහොත් එය විහිළුවට ළක් වන කරුණක් වන අතර සම ලිංගිකයින් සමාජයේ ප්‍රසිද්ධියේ තමන් සමලිංගිකයින් යැයි පිළිගතහොත් එය අපහාසයට ළක් වන කරුණක් වේ. මේ සියල්ල ඇති වන්නේ මිනිසුන්ගේ පටු සිතීම අනුවය. තමන් සමලිංගිකයෙකු නොවීම අනෙකුත් සමලිංගිකයින්ව ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් නොවේ. එසේම පිරිමින් දෙදෙනෙකු අතර ඇති වන සම්බන්ධතාවයක් අනෙකුත් පිරිමින්ට (විශම ලිංගික) අප්‍රසන්න කාරණාවක් වන අතර ගැහැනුන් දෙදෙනෙකු අතර ඇති වන සම්බන්ධකමක් ඔවුන්ට කථා කිරීමට කැමති ලිංගික උත්තේජනයක් වන කරුණක්ද වේ. මෙය අපට සමාජයේ දක්නට ලැබෙන දෙයකි.. සමලිංගිකත්වය මානසික රෝගයක් ලෙසින් විවේචනයට ළක් වූවත් නූතයේ සමලිංගිකත්වය යනු මානසික රෝගයක් නොවන බවට සොයාගෙන ඇත. එසේම දියුණු රටවල සමලිංගික විවාහද නිත්‍යානූකූල කර ඇත.
ලංකාවේ මාධ්‍ය සමලිංගිකත්වය යන කරුණ ඉදිරියේ හැසිරෙන්නේ සමාජ විරෝධී දෙයකට විරුද්ධ වන්නන් ලෙසිනි. මෑතකදී රිවිර පුවත්පතේ ගවේශන යටතේ එක් මාධ්‍යවේදීයෙක් යැයි කියා ගත් පුද්ග‍ලයෙකු ලංකාවේ ප්‍රධාන සමලිංගික සංවිධානයක් තුළ වෙනත් නමකින් පෙනී සිටිමින් සියලු තොරතුරු එක් රැස් කරගෙන ඒවා ගවේශනාත්මක ලිපියක් ලෙසින් ලියා තිබුනි. ඔහු එම සංවිධාන‍ය තුළ සමලිංගිකයෙකු මෙන් පෙනී සිටිමින් අවසානයේ සියළු තොරතුරු සමාජයට වාර්තා කළ අතර එයින් පෙන්වා දුන්නේ සමලිංගිකයින් යනු මානසික රෝගීන් බවත් ලංකාවේ සමලිංගික මාෆියාවක් ඇති බවත්ය. ඉතා අවාසනාවන්ත ලෙස ඉන්පසුව එම සංවිධානයට ඔවුන්ගේ ක්‍රියාකාරකම් අඩාල කිරීමටත් තවත් රහස්‍ය ‍ලෙස කිරීමටත් සිදු විය..
රිවිර පුවත්පතේ ගවේශනාත්මක ලිපි යටතේ එම ලිපිය ලිවූ මාධ්‍යවේදියෙකු යැයි කියාගත් නූගත් අසංවේදී පුද්ගලයා නොදන්නා දෙයක් ඇත. එනම් සමලිංගිකයින් ‍වෙනුවෙන් පෙනී සිටි එම සංවිධානය විසින් ප්‍රධාන සමාජ රෝග පිළිබදව සමලිංගිකයින් අතරේ කරගෙන ගිය ක්‍රියාවලියයි.සමාජ රෝග පැතිරීම වැළැක්වීම සදහා සංවිධානයක් ලෙසින් ඔවුන් මෙම සමාජයට දුන් දායකත්වය අවසානයේ නූගත් මාධ්‍යවේදියෙකු අතින් ලියවුනේ ඉතාමත් පහත් ලෙසිනි. මේ අපේ මාධ්‍යයේ ඇති උගත් කම සහ නිදහසයි..
සමලිංගිකයින් යනු සමාජ විරෝධිකයින් යැයි හදුන්වනා මාධ්‍යට සැබෑ සමාජ විරෝධීන් පෙනෙන්නේ නැත. රිවිර පුවත් පතේ කතෘද ‍කශේරුකාවක් නැති නූගත් පුද්ග‍ලයෙකු බව මගේ පුද්ගලික මතයයි..
සමලිංගිකයින් මනුෂ්‍යයන් වන අතර වෙනස ඔවුන් බහුතරයකගේ තෝරා ගැනීම වන විශම ලිංගිකත්වය තෝරා නොගෙන සමාන ලිංගිකත්වය තෝරා ගැනීම පමණි. ඔවුන් සමාජයේ අයිතිවාසිකම් ලැබිය යුතු පුරවැසියන් වන අතර ගුණ ගරුක යහපත් සදාචාර සම්පන්න රජය විසින් ඔවුන් සමාජ විරෝධීන් කර ඇත. මිනිසුන් උන්ට හදා දුන් කොටු තුළ ජීවත් වීම උන්ගේ කැමත්තකි. එසේම උන් උන්ට හදා දුන් එම කොටු කඩාගෙන ඉන් පිටත තම ජීවිතය ජීවත් කරවීමට උත්සාහ දරන්නේ නම් එය උන්ගේ කැමැත්තකි. තමන්ගේ ලිංගිකත්වය තෝරා ගැනීම සමාජ විරෝධී ක්‍රියාවක් වන්නේ නැත. එය අනිත් උන්ගේ උපහාසයට ළක් විය යුතු කරුණක් වන්නේද නැත. ආදරයට ලිංගික භේදයක් නොමැති අතරම සියළු මිනිසුන්ට තෝරා ගැනීමේ නිදහස තිබිය යුතුය..
මිනිසුන් කොටු කඩාගෙන ඉන් පිටතට පැමිණීම රජයක් ‍ලෙසින් අනුමත නොකරන්නේ ඔවු‍න්ගේ පැවැත්ම පිළිබදව ඔවුන්ට ඇති අනියත බිය හේතුවෙනි.. සමලිංගිකයෙකු වීම තවදුරටත් බිය විය යුතු කරුණක් නොවන අතරම ඔවුන්ගේ නිදහස කප්පාදු කරන්නන් වෙනුවෙන් කථා කිරීමටද තව දුරටත් දෙවරක් සිතිය යුතු දෙයක් නොවේ..සමලිංගිකයින් පිළිබදව සමාජයට වැරදි මත පළ කරන්නන් ලිංගික කුහකයින් විනා වෙන කිසිවෙකුත් නොවේ.

Link http://magejointeka.blogspot.com/2012/07/blog-post_12.html

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...