Showing posts with label සමරිසි. Show all posts
Showing posts with label සමරිසි. Show all posts

Saturday, February 4, 2017

අපේ සංස්කෘතිය හා සමරිසි බව​ Homosexuality and Sri Lankan Culture

අද  නිදහස් දිනේ ඉංග්‍රීසීන් ගෙන් නිදහස් වීම ගැන ලොකුවට කතා කළාට අපි ඇත්තටම ඉංග්‍රීසීන් ගෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙලාද ? කොහෙත්ම න​ෑ.
එංගලන්තයත් බොහෝ කාලයකට කලින්ම වික්ටෝරියානු යටත් විජිත නීති වෙනස් කර ගත්තත් තාම අපි ඒ ගැන හිතලවත් නෑ විතරක් නෙවෙයි, හුඟක් අය හිතන්නෙ ඒව තමයි අපේ දේ කියලා.




අද ලෝකයම නවීන විද්‍යාවට අනුව පිළිගන්නවා සමරිසි බව කියන්නේ ස්වභාවිකව සමහරුන්ට පිහිටන දෙයක්,ඒක ලෙඩක් වත්,මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර වලින් වෙනස් කරන්න පුලුවන් දේකුත් නෙවෙයි කියලා.
ඒත් ලංකාව තවම ඉන්නෙ 18 වන සියවසේ  ඉංග්‍රීසී  වික්ටෝරියානු යටත් විජිත මතයේ.
හුඟක් අයට ඒක තමයි සිංහල බෞද්ධ මතය​.ඒකෙනම පේනවා අපි කොච්චර යටත් මානසිකත් වයෙන් පෙලෙනවද කියලා.







ක්‍රිස්තියානි හා ඉස්ලාම් මතවලට අනුව සමරිසි බව වරදක්.
ඒත් හින් දු සහ බෞද්ධ මත ඒ වගේ න​ෑ.
ස්වභාවික දෙයක් වෙච්ච සමරිසි බව දිහා ඒ ආගම් දෙකම බැලුවේ හරිම මානුශීයව​.

බුදු දහමෙ විදියට ගිහියන්ට සමරිසි බව තහනම් කරල න​ෑ.
සමහර අය තුන් වෙනි සිල් පදය ඇතුළට සමරිසි බව දාන්න හැදුවට තුන් වෙනි සිල් පදය විස්තර වෙන කිසිම තැනක සමරිසි බව ගැන කතා කරල න​ෑ.
තුන් වැනි සිල් පදයෙන් කියන්නෙ තමන්ට අයිති නැති කෙනෙක් සමග ලිංගිකව හැසිරීමෙන් වළකින ලෙසයි.අපි ඉංග්‍රීසී  වික්ටෝරියානු යටත් විජිත මතය මේකට ඔබ්බවන්න හැදුවට සිල් පදය විස්තර වෙන අටුවා කතා බැලුවම ඒක එහෙම නෙවෙයි කියලා හොඳට පේනවා.එක් කතාවක හොඳටම තුන් වෙනි සිල් පදය රැක්ක කාන්තාවක් විදියට දැක්වෙන්නේ ගණිකාවක්.
ඇය තමන්ට ලැබුනු මුදලට අනුව එක් පිරිමියෙකුට ලැබෙන කාල සීමාව තුල වෙන් පිරිමින් පතන්නේ න​ෑ.ඒ වගේම බුදු දහමේ ශක්‍ර දෙවියන් බවට පත්වූ පන්සිල් රැකි මඝ මානවකයාට බිරියන් හතර දෙනක් සිටියා.
ඉංග්‍රීසී  වික්ටෝරියානු යටත් විජිත මතයට අනුව නම් මේ දෙන්නාම හිරේ තමයි.
ඒක නිසා තම තමන්  ගේ යටත් විජිත මත තුද්න් වෙනි සිල් පදයට ඔබ්බවන්න බෑ.
කෙනෙක් කියන්න පුළුවන් බුදු දහමේ සමරිසි බව ගැන කිසිම සඳහනක් නෑ කියලා.ඒත් ඒක වැරදියි.
විනය පිටකයේ පාරාජිකා පාළියේ පැහැදිළිවම භික්‍ෂූන්ට විශම ලිංගික වගේම සමලිංගික හැසිරීමුත් තහනම් කරල තියෙනවා.
ඒ වගේම බුදුන් වහන්සේගේ රූපයට වශී වී ආශා කල වක්කලී හාමුදුරුවො පස්සෙ සියලු කෙලෙස් නසාරහත් වෙනවා.ඒ වගේම කච්චායන තෙරුන් ගෙ සිරුර දැකලා රාගයෙන් අශා කළ සෝරෙයිය සිටුවරයා ගැනත් කියවෙනවා.
ඒ වගේම ජාතක කතාවලත් මේ වගේ සබඳතා ගැන කියවෙනවා.උදාහරණ විදියට කොසොල් රජුගේ ඇමති වරු දෙදෙනෙක් අතර තිබූ සබඳතාව වගේම​
වනයේ විසූ තව්සෙක් හා නා රජෙක් අතර තිබූ සබඳතාව දක්වන්න පුළුවන්.
බුදු හාමුදුරුවො මේ අයව හිරේ දාන්න කියලා කොසොල් රජතුමාට කිව්වෙවත්,
ජීවක වෛද්‍යතුමා ලඟට යවලා බේත් කරවන්න කිව්වෙවත් න​ෑ.
උන් වහන්සෙ මේ අයව දැක්කෙ සංසාරයේම එක ස්වභාවයක් විදියටයි.

ඒ වගේම හින් දු ආගමෙත් සමරිසි බව තහනම් කරලවත් දඬුවම් ලැබිය හැකි වරදක් කරලවත් න​ෑ.
හින් දු දේව කතාවලට අනුව අයියනායක දෙවියන් හෙවත් අයියප්පන් උපදින්නේ ශිව දෙවියන් හා විෂ්නු දෙවියන් අතර ඇතිවන ලිංගික සංසර්ගයෙන්.
ඒ වගේම කතරගම දෙවියන් ගේ උපත ගැන කියවෙන සමහර කතාවලත් ශිව දෙවියන් ගේ හා අග් නි දෙවියන් ගේ සබඳතාව ගැන කියවෙනවා.
ඒ වගේම ගංගා නදිය පොළවට ගෙන ආවා සේ සැළකෙන භගීරථ රජතුමා රැජිනියන් දෙදෙනෙක් අතර වූ සංසර්ගයක් නිසා ඉපදුණු පුද්ගලයෙක් විදියටයි සැළකෙන්නේ.

යුරෝපීය යටත් විජිත වෙන්න කලින් කිසිම හින්දු හරි බෞද්ධ හරි රටක සමරිසි බවට විරුද්ධව නීති තිබ්බෙ න​ෑ.යටත් විජිත බවට පත් නොවුනු රටවල් වල අදටත් සමරිසි බවට එරෙහිව නීති න​ෑ.
යටත් විජිත උනු රටවල් වලට ඒ නීති පැනෙව්වේ ඒ යුරෝපීය ආක්‍රමණිකයො විසින්.
විද්‍යාව දියුණු නොවූ ඒ කාලෙ විදියට ඒක අස්වාභාවික මානසික ලෙඩක්.
ඒත් විද්‍යාවේ දියුණුවත් එක්ක ඇත්ත දැන ගත්තම හැම යුරෝපීය රටක්ම තමන් ගෙ යල් පැන ගිය නීති වෙනස් කර ගත්තා.ඒත් උන් දීල ගිය යල් පැන ගිය නීති අල්ලගෙන තාම නොදියුණු යටත් විජිත ටික මේක අපේ සංස්කෘතිය කිය කිය පුරාජේරු දොඩවනවා.



“සමලිංගික පව කෝට්ටේ රාජධානිය පුරා පැතිර ඇති අතර, මෙහි ජීවත් වීම ගැන අපට දැනෙන්නේ බයකි. රාජධානියේ වෙසෙන වැදගත් නායකයෙක් වෙත ගොස් මෙවැනි කැත ක්‍රියාවක් ගැන ලැජ්ජා නොවන්නේ දැයි ඇසූ කල, ඔහු පිළිතරු දෙන්නේ, රජ විසින් යමක් කරන්නේ නම් එය අපේ චාරිත්‍රය වෙන බවයි (1547 නොවැ 27, පෘතුගීසින් විසින් ඉන්දියාවේ සිටි ඩී ජොවාවෝ ද කැස්ත්‍රෝ පෘතුගීසි උප-පාලකයාට)
—————————————————————————————–
“රජතුමාගේ බොහෝ සේවකයන් වූයේ තරුණ පිරිමින්ය. හොඳ පවුල්වලින් එන කඩවසම් අයය. දිසාවේලා හෝ රටේ මහත්තුරු හරහා එවැනි කොලු ගැටව් තෝරා ගැනෙන අතර යහපත් පෙනුමැති, හොඳ පවුල් පසුබිමක් අය තෝරා මාළිගාවට එවේ.  රජුට සමලිංගික හැසිරිම සම්බන්ධයෙන් වරදක් නොදැනුනු අතර, ඔවුන් අතර එවැනි පවක් ගැන කතා වෙනු ද මම කිසිම දිනක නොඇසුවෙමි.”
රොබට් නොක්ස්. 1681






 References

https://en.wikipedia.org/wiki/Buddhism_and_sexual_orientation
https://en.wikipedia.org/wiki/LGBT_themes_in_Hindu_mythology
 http://transyl2014.blogspot.ca/2017/01/blog-post_55.html
https://www.facebook.com/Living365.LK/

Saturday, October 29, 2016

ආප්ප ගැසීම සහ කොල්ලන් වැදීම By Ramesha , http://magejointeka.blogspot.com/

 
 
 
සමලිංගිකත්වය යනු කුමක්ද? එක සමාන ලිංගිකත්වය ඇති දෙදෙනෙක් අතර ඇතිවන සම්බන්දකම සරලව සමලිංගිකත්වය කියල නිර්වචනය කරන්න පුළුවන්.අපිට මුල ඉදන්ම මේ සමාජේ සංස්කෘතිය විසින් කියල  තියන මේක හරි , මේක වැරදි කියන ඉගැන්වීමේ වැරදි කියන තැනට සමලිංගිකත්වය අයිති වෙනවා. අපි ආකර්ෂණය විය යුත්තේ විරුද්ද ලිංගිකයන්ට පමණයි කියන හැදෑරීම අපේ සංස්කෘතිය විසින් අපේ ඔලු වලට කාවද්දනවා. සමලිංගිකත්වය දණ්ඩ නීති සංග්‍රය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් ලෙස සටහන් වෙන අතර සමලිංගික විවාහ නීතියෙන් තහනම් කරනු ලබනවා. කොල්ලෝ ගැසීම,ආප්ප ගැසීම යන නම් වලින් සමලිංගිකත්වය සමාජයේ නිර්වචනය වෙද්දී  පොන්නයන් සහ කොලු ගැණු එහෙමත් නැත්තන් ආප්ප කැලි නමින් සමලිංගිකයන් නිර්වචනය කරන්නට විය .gay සහ lesbian යන නමින් හදුන්වන එම සමාන ලිංගිකයින් විෂම ලිංගිකයින්ගෙන් වෙනස් කර සමාජය විසින් හදුන්වයි. මම කතා කරන්නේ ලංකාවේ සමාජය සහ එම සමාජයේ සමලිංගික කියවීම පිලිබදවයි.

සමලිංගික යන වචනේ අහපු ගමන් ලංකාවේ බහුතරයකගේ ඔළුවල මැවෙන්නේ සමලිංගිකයින්ගෙන් ලිංගික ක්‍රියාවලියයි. තේරෙන බාසාවෙන් කිව්වොත් බොහොමයක් පිරිමි කුතුහලයට පත්වන්නේ ආප්ප ගහන්නේ කොහොමද ?කොල්ලෝ ගහන එක ආතල්ද යනුවෙනි .. සමලිංගික සම්බන්දකම් බිහි වන්නේ හුදෙක්ම ලිංගිකත්වය මතය සහ  එය අසාමාන්‍ය , ජුගුස්පාජනක යැයි සමාජයේ බහුතරය මගින් තීරණය කර හමාරය. මිනිස්සු විවිධාකාර බව සහ රුචි අරුචි කම් වෙනස් ය යන සාමාන්‍ය ,  නොතේරෙන උන්ට මානව හිමිකම් සහ අයිවාසිකම් ගැන ඇති දැනුම ගැන කිව යුතු නොවේ

සමලිංගික භීතිකාව(homofobia) ඇති වෙන්නේ මේ අතරය .මිනිසුන්ගේ එක් එක් මොඩල් නිර්මාණය වී ඇති ආකාරය මත ඔවුන් සමාජය සහ සම්බන්දකම් දකින කෝණය වෙනස් වේ. ආදරය කිරීමට ඇති නිදහස යටතේ තමන් ආදරය කිරීමට තෝර ගත යුතු කෙනාගේ ස්ත්‍රී පුරුෂ බාවය ගැන සදහන් වන්නේ නැත . නමුත් සමාජය විසින් සංස්කෘතික සීමාවන්ට යටත්ව විෂම ලිංගිකයින්ට පමණක් අප ආකර්ෂණය විය යුතුය යන්න සම්මතය කර ඇත .මේ සම්මතය කඩාගෙන ආදරය කරන්නන් සමාජ විරෝදීන් වන අතරම මානසික ලෙඩුන් බවටද නිර්වචනය කරයි.

සමලිංගිකයන් යනු මානසික ලෙඩුන් හා සමාජය විනාශ කරනා මාෆියාවක් ලෙස හංවඩු ගසා ඇත. එම මිනිසුන්ව සමාජයට පෙන්නේන්නේ ඔවුන්ගේ ලිංගික බාවය මතය.  ඉතාමත් නිර්දය ලෙස මිනිසුන්ගේ ලිංගිකත්වයට සීමා පනවන කුහකයන්ගේ මාෆියාව තදින් පැතිරී හමාරය . පොන්නයන් යැයි අපහාසාත්මකව හදුන්වන සංක්‍රාන්ති ලිංගික පුද්ගලයින්/ සමලිංගික පිරිමින්ගෙන් හොර රහසේ ආතල් ගන්නා මෙම කුහක රැල  එළිපිට ඔවුන්ව නිර්දය ලෙස විවේචනය කරයි. ලංකාවේ media  විසින් ගොයියන්ට මැජික්   මෙන් සමලිංගික සම්බන්දකම් ගැන ගවේෂණය කර ඔවුන් මානසික අසහනකාරීන් ලෙස ලේබල් කරමින් ලිපි පල කරනා අතර sex  මැජික් වන අසහනකාරීන්ට එම ලිපි ආතල් එකක් වෙයි. රෙද්ද ගලවා සමලිංගික ගැහැණු ලිංගිකව හැසිරෙන නිල් චිත්‍රපට බලා ස්වයං වින්දනයේ යෙදෙන පිරිමි රෙද්ද ඇදගෙන එලියට පැමිණ ආප්ප ගසන ගැණු යැයි කියමින් ඉතාමත් නිර්දය ලෙස සමාන ලිංගිකයින් විවේචනය කරයි. කුහකයන්ගේ සහ බඩු කාරයින්ගේ නීති සහ තහනම් කීරීම් වලින් කප්පාදු වෙන ජීවිත බොහෝය .සමලිංගික සම්බන්දකම් අසුවී සිය දිවි නසා ගත් ප්‍රමාණය ඉහලය. සමාජයේ ගල් පහරට බය වී සැගවී ජිවත් වෙන සමානයන්ගේ ප්‍රමාණය දිනෙන් දින වැඩි වේ. මීනිමරුවන් , සමුල ඝඃතකයින්. බඩුකාරයින් රට පාලනය කරද්දී  සමලිංගිකයින් රටේ අපරාධකරුවන් , මිනීමරුවන් ,සමාජ විරෝධීන් වී ඇත.

ගැනුන්ගේ ආප්ප ගැසීම සියසින් විද ගැනීමට සහ ගැහැණු දෙදෙනෙක් සමග එකවර සැප ගැනීමට නොවිසිලිමත් ආසාවකින් පෙලෙන එමෙන්ම කොල්ලන්ට කියා ආතල් ගැනීමට පුරුදු වී සිටින සමාජයේ එළිපිට රෙද්දෙන් තමාගේ යකා වහගෙන සිටින කුහකයින්ට සම්බන්දකම් සහ මිනිසුන්ගේ ලිංගිකත්වය තීරණය කිරීමට ඉඩ දිය නොහැක. සීමා වැට බැදිය නොහැක. කතා කිරීමේ නිදහස කප්පාදු කර ඇත. නැරබීමේ නිදහස කප්පාදු කර ඇත. ලිවීමේ නිදහස කප්පාදු කර ඇත . නිදහස යන වචනයම කප්පාදු කර ඇත . මිනිස්සුන්ගේ ආදරය කිරීමත් ලිංගික බාවයත් කප්පාදු කර ඇත . ආදරය කරන්නේ ස්ත්‍රියක් සහ පිරිමියක් පමණි. ස්ත්‍රියන් දෙදෙනෙකු ආදරය කිරීම අසම්මතයයි. පිරිමින් දෙදෙනෙකු ආදරය කිරීම පොන්න කමයි. සමලිංගිකයින් පොන්නයින් වෙද්දී කුහකයින් සම්මතය රකින රෙදි අදින උන් බවට පත් වෙයි. 

හෝමෝෆෝබිය යනු සමලින්ගිකයින්ට දක්වන  අසාමාන්‍ය වෛරය හා බීතියයි.  විවේචනය කිරීමේ අයිතිය හා පන්න පන්නා පහර දීම අතර ඇත්තේ ලොකු වෙනසකි. අකමැත්ත හා කැමැත්ත සැගවීම අතර ඇත්තේ සෑහෙන්න වෙනසකි. හොරෙන් විදීම සහ ප්‍රසිද්දියේ ඒවා වාරණය කිරීම තුල  ඇත්තේ කුහක කමකි.

මෙම ලියමන තිරය පිටුපස  කොල්ලන් ගසන , ආප්ප සීන් බලා ස්වයං විදනයේ යෙදෙන තිරය ඉදිරියට පැමිණ ඒවා වරණයට කෑ ගසන අසහනකාර කුහක බදුකාරයින්ටය... 
 
Link  http://magejointeka.blogspot.com/2011/12/blog-post_1724.html

Tuesday, May 26, 2015

සමරිසි බව වෙනස් කරන්න පුළුවන් ද​? Can homosexuality be changed?

අද ලංකාවේ අලුත් ව්‍යාපාරයක් පටන් අරන්.ඒ තමා සමරිසි බව වෙනස් කිරීම​.
සමහරු පත්තරවල ,TV එකේ පවා දම දම මේ ඔස්සේ මිනිස්සු රවට්ටලා සල්ලි හොයන්න පටන් අරන්.අපි මෙහෙම කරන්න පුළුවන් ද කියලා විද්‍යාත්මකව හොයාලා බලමු.



විද්‍යාත්මක පරීක්‍ෂණ ,සමීක්‍ෂණ අනුව කෙනෙක් සමරිසි වෙන්නෙ උපතේදීම හෝ ඒ ආසන්න කාලයේදී.ඒක ජානමය බලප​ෑම්,හෝමෝනමය බලපෑම් ආදී ක්‍රියාවලීන්වල එකතුවක් විදියටයි සැළකෙන්නේ.
එහෙම නැතුව කෙනෙක් අතවරයට ලක් උනු නිසාවත්,මුලින්ම කොල්ලෙක් එක්ක sex කිරීම නිසාවත් නෙවෙයි කෙනෙක් සමරිසි වෙන්නෙ.ඒ වගේම සමරිසි බව ලෙඩක්වත් ,ඇබ්බැහි වීමක්වත් නෙවෙයි.
 (මෙතනින් වැඩි විස්තර බලන්න​)

 ඒ වගේම සමරිසි බව වෙනස් කරන්න පුළුවන් කිසිම ක්‍රමයක් න​ෑ කියලා අද ලෝකයේ දියුණුම මනෝ විද්‍යාඥයන් මනෝ වෛද්‍ය වරුන් පවසනවා.සමහර ක්‍රම අතීතයේදී භාවිතා උනත් ඒ ක්‍රම සාර්ථක න​ෑ වගේම හානිදායකයි කියලත් අද වෙනකොට හොයා ගෙන තියෙනවා.

අද​ බටහිර මනෝ විද්‍යාවේ මූලිකම හා  දැනුම පළපුරුද්ද අතින් ඉහලින්ම සිටින ආයතන වන​


ඇමෙරිකානු මනෝ විද්‍යා සංගමය​

රාජකීය විශේෂඥ මනෝ වෛද්‍යවරුන් ගේ ආයතනය​

බ්‍රිතාන්‍ය මනෝ චිකිත්සකයින් ගේ ආයතනය​

බ්‍රිතාන්‍ය මනෝවිද්‍යා සංගමය​

British Association for Counselling and
Psychotherapy

British Psychoanalytic Council

British Psychological Society

Royal College of Psychiatrists

UK Council for Psychotherapy

ආදී ජාත්‍යන්තරව පිළිගත් ආයතන​ සියල්ලගේම ඒකාබද්ධ ප්‍රකාශනයක් තමයි මේ තියෙන්නේ.


https://www.psychotherapy.org.uk/wp-content/uploads/2016/08/ukcp-conversion-therapy.pdf

ඒකෙන් සරලවම කියන්නෙ සමරිසි බව වෙනස් කරන්න ක්‍රමයක් නැති බවත් කලින් පාවිච්චි කරපු ක්‍රම අසාර්ථකයි වගේම හානිදායක බවත්.


"Conversion therapy
Consensus statement
At the request of the Department of Health this public information
was prepared by the UK Council for Psychotherapy with the support
and assistance of the British Psychoanalytic Council, the Royal
College of Psychiatrists, the British Association for Counselling
and Psychotherapy, the British Psychological Society, The National
Counselling Society, Pink Therapy, Stonewall, PACE and Relate
June 2014

"Why do therapy professionals consider conversion therapy
unethical?

The major therapy professional bodies in the UK have been united in speaking out against conversion therapy. This is because this particular approach is based on the assumption that homosexuality is a mental disorder, or begins from the pre-conceived view that the client should change their sexual
orientation.

 As homosexuality is not an illness, it is both logically and ethically flawed to offer any kind of treatment.Conversion therapy suggests to vulnerable people that their sexuality is the root cause of their difficulties.

This is misleading and prejudiced. Questions around sexuality and identity can be challenging and difficult. Nevertheless, we believe it would be irresponsible and
potentially damaging for a therapist to offer to try and change sexual orientation.

The UK Council for Psychotherapy states:

‘It is exploitative for a psychotherapist to offer treatment that might ‘cure’ or ‘reduce’ same sex attraction as to do so would be offering a treatment for which there is no illness.’

The British Association for Counselling and
Psychotherapy says:

‘There is no scientific, rational or ethical reason to treat people who identify within a range of human sexualities any differently from those who identify solely as
heterosexual.’

The British Psychological Society has published guidance
which says:

‘As same-sex sexual orientations... are not diagnosable illnesses, they do not require any therapeutic interventions to change them.’
The British Psychoanalytic Council states:
‘The BPC does not accept that a homosexual
orientation is evidence of disturbance of the mind or in development. In psychoanalytic psychotherapy, it is the quality of people’s relationships which are explored,
whether they are heterosexual or homosexual.’


The Royal College of Psychiatrists states:

‘The Royal College of Psychiatrists believes strongly in evidence-based treatment. There is no sound scientific evidence that sexual orientation can be changed. Furthermore, so-called treatments of homosexuality
create a setting in which prejudice and discrimination flourish.’



What does research tell us about conversion therapy?

All treatments must be both ethical and effective before being recommended by professional bodies or adopted by services such as the NHS. As already noted, same-sex attraction and sexual behaviour are not mental disorders needing treatment.
Nevertheless, there are claims conversion therapy should be available to people distressed by their same sex attraction. So is there any evidence that such therapy can change sexual orientation?
Randomised controlled trials are the scientific gold standard for assessing the effectiveness of treatments. There are no randomised trials of conversion therapies.
Recent systematic reviews of the evidence for conversion therapy suggest that studies which have shown it to be successful are seriously methodologically flawed.Oral history studies of people who underwent treatments (such as aversion therapy) for homosexuality in the 1970s and 1980s also show there is a potential for harm.
We believe that offering to change a person’s sexual orientation or control his or her same sex attraction would be likely to reinforce the notion that these feelings are wrong or abnormal. For wider society, it also perpetuates the mistaken belief that homosexuality is a disorder needing treatment.




To see more detailed statements on conversion therapy from professional bodies in the UK please go to the
following links:"

British Association for Counselling and
Psychotherapy

British Psychoanalytic Council

British Psychological Society

Royal College of Psychiatrists

UK Council for Psychotherapy"


සමරිසි බව වෙනස් කරන්න පුළුවන් ක්‍රමයක් න​ෑ කියලා ඉහත විද්‍යාත්මක ප්‍රකාශනය කියෙව්වම කාටත් වැට හෙන්න ඇති..

ඉස්සර ඉඳන්ම නොයෙක් ක්‍රම අත් හදා බලල තියෙනවා.ඒත් ඒ එක ක්‍රමයක් වත් සාර්ථක න​ෑ වගේම බොහෝ විට හානි කර ක්‍රියා මාර්ග​.
අද ලංකාවෙ නම් මිනිස්සුන් ගෙ නොදැනුවත් කමින් ප්‍රයෝජන ඇරගෙන මිනිස්සු රවට්ටල සල්ලි ගරන කීප දෙනෙක් ඉන්නවා.දැන් එක්කෙනෙක් TV එකේ Ad පවා දානවා.
එහෙම ක්‍රමයක් සාර්ථකව හොයා ගෙන තියෙනව නම් එයාට නොබෙල් ත්‍යාගය හම්බ වෙයි.මොකද එහෙම ක්‍රමයක් අද ලෝකෙ නැති නිසා.බටහිර වෛද්‍ය විද්‍යාව කියන්නෙ එහෙම ක්‍රමයක් නෑ කියලයි.
ඒත් ඒ එක ක්‍රමයක් වත් ඇත්ත ඒව නෙවෙයි සල්ලි ගරන්න අටව ගත්ත හොර මවා ප​ෑම් විතර යි.
මේව  කව්‍ රුවත් කියනවට පිළිගන්න එපා. පිළිගත් විද්‍යාත්මක දේවල් කියවල බලල තමන්ම​ තේරුම් ගන්න​.



The American Psychiatric Association

" In its 2000 position statement on “reparative” therapy, states:
Psychotherapeutic modalities to convert or “repair” homosexuality are based on developmental theories whose scientific validity is questionable. Furthermore, anecdotal reports of “cures” are counterbalanced by anecdotal claims of psychological harm. In the last four decades, “reparative” therapists have not produced any rigorous scientific research to substantiate their claims of cure. Until there is such research available, the American Psychiatric Association recommends that ethical practitioners refrain from attempts to changeindividuals’ sexual orientation, keeping in mind the medical dictum to first, do no harm.

 The potential risks of reparative therapy are great, including depression, anxiety and self-destructive behavior, since therapist alignment with societal prejudices against homosexuality may reinforce self-hatred already experienced by the patient.Many patients who have undergone reparative therapy relate that they were inaccurately told that homosexuals are lonely, unhappy individuals who never achieve acceptance or satisfaction. The possibility that the person might achieve happiness and satisfying interpersonal relationships as a gay man or lesbian is not presented, nor are alternative approaches to dealing with the effects of societal stigmatization discussed.

Therefore, the American Psychiatric Association opposes any psychiatric treatment, such as reparative or conversion therapy which is based upon the assumption that homosexuality per se is a mental disorder or based upon the a priori assumption that the patient should change his/her sexual homosexual orientation."

The American Academy of Pediatrics

" Avoid any treatments that claim to be able to change a person’s sexual orientation,....."

The American Counseling Association

" in April 1999, the The American Counseling Association's Governing Council adopted a position opposing the promotion of “reparative therapy” as a “cure” for individuals who are homosexual."

Source http://www.apa.org/pi/lgbt/resources/just-the-facts.aspx
American Psychological Association says like this

"The task force conducted a systematic review of the peer-reviewed journal literature on sexual orientation change efforts (SOCE) and concluded that efforts to change sexual orientation are unlikely to be successful and involve some risk of harm, contrary to the claims of SOCE practitioners and advocates.

from
Report of the APA Task Force on Appropriate Therapeutic Responses to Sexual Orientation
American Psychological Association"

source

American Psychological Association

Link

http://www.apa.org/pi/lgbt/resources/sexual-orientation.aspx





American Psychological Association further says like this


"All major national mental health organizations have officially expressed concerns about therapies promoted to modify sexual orientation. To date, there has been no scientifically adequate research to show that therapy aimed at changing sexual orientation (sometimes called reparative or conversion therapy) is safe or effective. Furthermore, it seems likely that the promotion of change therapies reinforces stereotypes and contributes to a negative climate for lesbian, gay and bisexual persons."

source - American Psychological Association

link - http://www.apa.org/topics/lgbt/orientation.aspx



 Royal College of Psychiatrists UK
says like this

"The British Association for Counselling and Psychotherapy has recently completed a systematic review of the world’s literature on LGB people’s experiences with psychotherapy (King et al., 2007). This evidence shows that although LGB people are open to seeking help with mental health problems they may be misunderstood by therapists who regard their homosexuality as the root cause of any presenting problem such as depression or anxiety.



Unfortunately, therapists who behave in this way cause considerable distress. A small minority of therapists will even go so far as to attempt to change their client’s sexual orientation (Bartlett et al, 2001). This can be deeply damaging. Although there is now a number of therapists and organisation in the USA and in the UK that claim that therapy can help homosexuals to become heterosexual, there is no evidence that such change is possible.


Meanwhile, we know from historical evidence that treatments to change sexual orientation that were common in the 1960s and 1970s were very damaging to those patients who underwent them and affected no change in their sexual orientation (King, M. and Bartlett, A., 1999). "

source - Royal College of Psychiatrists UK 2015

link -
http://www.rcpsych.ac.uk/members/specialinterestgroups/gaylesbian/submissiontothecofe/psychiatryandlgbpeople.aspx


මේ ඇමරිකානු කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරුන් ගේ (American College of Physicians) මතය​.ඉන් කියවෙන්නෙත් සමරිසි බව වෙනස් කළ නොහැකි බවමයි.


 link 1- http://www.medscape.com/viewarticle/844526

link 2 - http://annals.org/article.aspx?articleid=2292051

එහෙම සමරිසි බව වෙනස් කරන සාර්ථක​  ක්‍රම තියෙනවනම් අද ලෝකෙ දියුණුම රටවල ඉන්න ලොකුම සල්ලි කාරයි වෙච්ච,Ricky Martin,Neil Patrik,Elton John වගේ සමරිසි අය වෙනස් වෙයිනෙ ඔය කියන දේවල් කරල​.
(http://www.rantlifestyle.com/2014/03/11/20-wealthiest-homosexuals/)

ඒ වගේම කොච්චර දක්‍ෂ සමරිසි වෛද්‍යවරු ඉන්නවද.එහෙම ක්‍රම තියෙනවනම් මුලින්ම ඒ අය වෙනස් වෙයිනෙ.
http://commonhealth.wbur.org/2012/03/being-gay-in-medicine
http://www.glma.org/



ඔය කියන තැනකට කව්‍ රු ගියත් කාටවත් කිසිම ප්‍රශ්නයක් න​ෑ.
මොකද ඒ අය වියදම් කර ගන්නෙ තම තමන් ගෙ සල්ලි නෙ.
කලිනුත් කිව්ව වගේ මේව කව්‍ රුවත් කියනවට පිළිගන්න එපා.විද්‍යාත්මක ප්‍රකාශන කියවලා බලලා තීරණය කරන්න​.

ඒත් මේ ප්‍රශ්නෙ තවත් පැත්තක් තියෙනවා.මේ පිළිබඳ නිසි විද්‍යාත්මක දැනුමක් නැති අය කරන සමහර උපදේශන ,චිකිත්සා හානිදායකයි.
 නිසි නිවැරදි දැනුමක් නැති උනාම ඔය ප්‍රශ්නය තවත් උග්‍ර වෙනවා.විශේෂයෙන්ම නිසි දැනුමක් නැති පුද්ගලයන් ගෙන් උපදෙස් ගන්න ගියාම ප්‍රශ්නෙ දෙගුණ තෙගුණ වෙනවා.අන්තිමට සියදිවි නසා ගැනීමට තරම් ප්‍රශ්නය දුර යන්න පුළුවන්.

මේ ගැන කියවෙන සත්‍ය කතාවක් මත නිමැවුනු චිත්‍රපටයක් තමයි Prayers for Bobby කියන චිත්‍රපටය​.ඒක හරිම සංවේදී සත්‍ය කතාවක්.හැමෝම පුළුවන් නම් බලන්න​.

http://en.wikipedia.org/wiki/Prayers_for_Bobby
http://www.prayersforbobby.com/

ඒක ඇමෙරිකාවෙ ටිකක් ඈත කාලෙ 70 ගනන්වල උන සිදුවීමක්.හරියට අද ලංකාව වගේ.සමරිසි බව ගැන හරි දැනුවත් කමක් න​ෑ.
Bobby කියන සමරිසි තරුණයට අම්මගෙන්,පවුලෙන් හා සමාජ යෙන් වෙන බලප​ෑම හින් ද වෙන ඛේදවාචකයක් තමයි ඒ.සමරිසි බව වෙනස් කර ගන්න ඔහු යනව විවිධ දේවල් කරගන්න​.ඒත් ඒවයින් වෙන්නෙ ඔහු තව තව මානසිකව වැටිල අන්තිමට සියදිවි නසා ගන්න වෙන එක​.

අන්තිමට ඔහුගෙ අම්ම ඇත්ත තේරුම් ගන්නව​.තමන් ගෙ පුතාට උන දේ තව කිසිම දරුවෙකුට නොවෙන්න සමාජය දැනුවත් කරන ඇය සමාජ ක්‍රියාකාරිනියක් වෙනවා.ඒ ඔස්සෙ ඇමෙරිකාව අද තියෙන සමරිසි දැනුවත් බව​,නිදහස ඇති කරන්න ඇය ක්‍රියා කරනවා.

හුඟක් නව යොවුන් සමරිසි අයට කාටවත් කියා ගන්න බැරි මේ දේ හින් ද සිය දිවි නසා ගන්න පවා හිතෙනවා.ඒත් ඒක හරිම මෝඩ වැඩක්.
ප්‍රසිද්ධ Prison Break TV Series එකේ ප්‍රධාන නළුවා වෙච්ච Wentworth Miller සමරිසි කොල්ලෙක්.එයාත් මේ ප්‍රශ්නෙ හින්ද අවුරුදු පහළවෙදි විතර සියදිවි නසා ගන්න හදල තියෙනවා.ඒක කොච්චර අනුවණ වැඩක්ද කියල වගේම ඒ වගේ දේවලින් සමරිසි න්ව යෞවනයන් ගලව ගන්න ඕනෙ බවත් ලඟදි ඔහු කියල තිබුන​.

link - http://www.dailymail.co.uk/tvshowbiz/article-2415718/Prison-Break-star-Wentworth-Miller-How-keeping-sexuality-secret-prompted-suicide-attempts.html

video - https://www.youtube.com/watch?v=PLRWDAfOzvA








 අද සමරිසි නව යොවුන් පිරිසට මේ විදියට ජීවිතය ගැන හිතන එක උපකාරී වෙයි.

1.ඔබ තනි න​ෑ.
ඔයා වගේම ඔය ප්‍රශ්නෙට සාර්ථකව මුහුණ දුන් තව මිනිස්සු දහස් ගණනක් ලංකාවෙත් ලෝකෙ පුරාමත් ඉන්නවා.ඉන්නවා.ඉතින් ඔය දේට ඔයාටත් ඒ අය වගේම සාර්ථකව මූණ දීල ජීවිතේ ජය ගන්න පුලුවන්.
http://www.theguardian.com/careers/world-pride-power-list-2014-top-10
http://www.theguardian.com/careers/world-pride-power-list-2014
http://www.theguardian.com/careers/world-pride-power-list-2013-11-100

මේ ලෝක ප්‍රසිද්ධ​ Ricky Martin තමන් ගෙ සමරිසි බව ගැන දක්වන අදහස්.









video 1- https://www.youtube.com/watch?v=2oBraB9goXI
video 2-https://www.youtube.com/watch?v=5mkeGPoTXOY
video 3-https://www.youtube.com/watch?v=QoMH3uiha1Y




2.තමන්ට සතුටු වෙන්න පුළුවන් කොච්චර දේවල් ලැබිල තියෙන්වද​?
මේ ලෝකෙට ඇස් පේන්නෙ නැතුව​,අත පය නැතුව​,මන්ද බුද්ධික වෙලා කොච්චර ළමයි ඉපදෙනවද​?
ඒ අයට සාපේක්‍ෂව තමන් ට කොච්චර දේවල් තියෙනවද කියල හිතන්න​.
ඒ අතින් තමන් ගෙ ජීවිතෙ කොච්චර වටිනවද​?

3.
සමරිසි වීම තමන්ගෙවත් කාගෙවත් වරදක් නෙවෙයි.
කළින් පැහැදිලි කලා වගේ මුල්ම ලිංගික අත්දැකීම නිසාවත්,කෙනෙක් අතවර කළ නිසාවත්,දෙමව්පියන් ගෙ වරදක් නිසාවත් නෙවෙයි කෙනෙක් gay වෙන්නෙ.
ඒ අපි ඉපදුන හැටි .එච්චරයි.ඒකෙ කිසි වරදක්වත්,පවක්වත්,දුක් වෙවී ඉන්න දෙයක්වත් න​ෑ.


අද දියුණු රටවල සමරිසි බව පිළිගෙන තියෙන්නෙ ඒ පිළිබඳ නිවැරදි කරුණු හොයාගෙන අවබෝධ කරගෙන දැනුවත් වෙලා හින්ද​.
ඉතින් ලංකාවෙත් ඒ තත්වය ඇති කර ගන්න ඕනෙ නම් මුලින්ම කරන්න ඕනෙ දේ තමයි නිවැරදි දැනුවත් බව හැමෝටම ලබා දීම​.
ඉතින් සමාජය දැනුවත් කරන්න බැරිනම් මුලින්ම අපේ සමරිසි පිරිස වත් දැනුවත් වෙන්න ඕනෙ,ඒ වගේම දන්නෙ නැති අයට නිවැරදි දේ කියල දීල තමන් ගෙ සමාජය වෙනුවෙන් තමන් අතින් පොඩි හරි යුතුකමක් ඉටු කරන්න ඕනෙ.

Tuesday, November 18, 2014

සමකෝණී ත්‍රිකෝණයක සමකාමී ආදරයක්- "ෆ්‍රැන්ජිපානි" ... By Damith Welikala

සමරිසි,සමකාමී බව පිළිබඳව ඇත්ත තියෙන සයපෙති අරලියා ගැන කතා කරන හොඳ ලිපියක් boondi.lk එකේ කියවන්න ලැබුනා.ලියලා තියෙන්නේ දමිත් වැලිකල​
මේ එහි උපුටා ගැනීමක්.

 සමකෝණී ත්‍රිකෝණයක සමකාමී ආදරයක්- "ෆ්‍රැන්ජිපානි" ...දමිත් වැලිකල​









ඔහු නමින් චමත් ය. එහෙත් ඈ ආදරයට ඔහු ඇමතුවේ බස්සා යන සුරතල් නාමයෙනි. ඈ සරසි හෙවත් ඉස්සි ය. ඉස්සීගේත් බස්සාගේත් ආදරය අතරට පැමිණෙන කඩවසම් ආගන්තුකයා නලීන් ය. චමත් සහ නලීන් කෙමෙන් මෝරා වැඩෙන මිතුදම විනිවිදිමින් ලාලසාත්මක සමකාමී ප්‍රේමයකින් වෙළෙති. ඒ අතරම ඔවුන් සරසිගේ ආදරය කේන්ද්‍ර කරගනිමින් භ්‍රමණය වන ප්‍රේමවන්තයන් දෙදෙනෙකු ද වේ. කාලයාගේ ඈවෑමෙන් නලීන් හා සරසි යුග දිවියට එළැඹෙති. හුදෙකලා වන බස්සා ස්වකීය ජීවිතාභිලාෂය සොයා උඩුගම් බලා පිහිනන්නෙකු බවට පත්වේ. අනේකවිධ හැලහැප්පීම් කම්කටොළු මැදින් ඔවුන්ගේ තුන්කොන් ආදරය ගලා යයි. එහෙත් මේ ආදර කතාව සුඛාන්තවත්ය. දිගු වන්දනා ගමනක අවසානයේ තිදෙනාම‍ නැවතත් මුලින් සිටි තැන්වලමය. මේ වූ කලී ෆ්‍රැන්ජිපානි කතා වස්තුවයි.

සාම්ප්‍රදායික ත්‍රිකෝණගත ප්‍රේමාන්දරයකින් ෆ්‍රැන්ජිපානි වෙනස් වන්නේ එහි මූලික ධාරණාව එක්තරා සුවිශේෂී වූ මානුෂීය සාරයක් කැටි කරගන්නා බැවිනි. සමකාමීත්වය හා සමකාමී ආදරය මූලික වශයෙන් ‍ෆ්‍රැන්ජිපානි තුළ දෝලනය වන්නා වූ වස්තු විෂයන් ලෙස දැකිය හැකිය. සමකාමීත්වය සමලිංගිකත්වය ලෙස ප්‍රනිශ්චය වී තිබීම මහා සංස්කෘතික ආප්තයන්ගේ එක්තරා වැරදි පූර්වාදර්ශයකි. සමකාමී ආදර සම්බන්ධයක් අශ්ශීල, ජුගුප්සාජනක මානසික විකෘතියක් ලෙස විග්‍රහ කරනු ලබන්නේ ද යට කී මහා ‘ශුද්ධ’ සංස්කෘතිය විසින් අධිනිශ්චය කරනු ලැබූ ප්‍රකෘති යැයි අප හඟින මානව චර්යාවන්ගේ නිර්නායකයන්ට එය අනුකූල නොවන හෙයිනි. සමකාමීත්වය සපුරාම අනිච්ඡානුගත මනෝභාවයක් වන අතර එය මානවීයත්වයේම එක්තරා සුවිශේෂී දිගුවක් ලෙස අවබෝධ කරගැනීම මෙවැනි කතා සන්දර්භයකට පිවිසීම සඳහා වඩා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයක් අපට සපයයි.


"මේ චිත්‍රපටයෙන් කියැවෙන දේ ගැන කවුරු හරි මගෙන් ඇහුවොත් මම කියන්නෙ මේක ‘ආදරය සහ ප්‍රජාතන්ත්‍රවාදය’ ගැන කතාවක් කියල." ඒ චිත්‍රපටයේ අධ්‍යක්ෂ විසාකේස චන්ද්‍රසේකරම්ගේ හඬය.

සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතරයේ කැමැත්ත ලෙස නිගමනය කිරීමම එක්තරා අතකට ප්‍රජාතන්ත්‍ර විරෝධී අර්ථකථනයකි. බහුතරයේ කැමැත්ත මත සියල්ල තීරණය වන සමාජයක සුළුතරයේ අභිලාෂයන් මහා ප්‍රවාහයේ සෙවණැල්ල තුළ සැඟවී යාම සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් විසින් අනුදක්නා යුතු තත්වයක් නොවේ. අනෙක් අතට, බහුතරයේ ස්වභාවික කැමැත්ත ලෙස ප්‍රනිශ්චය වී ඇති සංස්කෘතික භාවිතාවන් තුළ සුළුතරයේ ඊට සාපේක්ෂව ‘වෙනස්’ අභිලාෂයන් අසංස්කෘතිකවත් හෝ අශ්ශීලත්වයන් ලෙසට නිර්වචනය වීම ද සැබෑ ප්‍රජාත්න්ත්‍රවාදී සමාජයක් විසින් ප්‍රශ්න කළ යුතු තත්වයකි. සුළුතරයක් විසින් බහුතරයට වඩා වෙනස් මතයක් නියෝජනය කළ පමණින් ඔවුන් හැම විටම බහුතර අනෙකා යටතේ පීඩිත ප්‍රජාවක් බවට පත්වීමේ තත්වය සාම්ප්‍රදායික අර්ථරාමු තුළ අවිඥානිකවම පිළිගැනෙන තත්වයකි. එමෙන්ම බහුතර කැමැත්ත තුළ ඔවුන්ගේ ආධ්‍යාශයන් දිය කර හැරීමට සිදුවන්නේ නම් හෝ සමාජමය වශයෙන් හුදෙකලාභාවයකට පත්වීමට ඔවුන්ට සිදුවේ නම් එතැන සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් හෝ සමාජ සාධාරණත්වයක් පැවතිය නොහැක. නියම ප්‍රජාතන්ත්‍රවාදය යනු සුළුතර අයිතිවාසිකම් කඩනොවන පරිදි බහුතර කැමැත්තට ඉඩ දීමේ ‘කලාවකි’. ‍එහෙත් ලංකාව වැනි දුර්වල දේශපාලන සංස්කෘතියක් ඇති රටක සුළුතර අයිතිවාසිකම් පිළිබඳ කතා කිරීමම අතුරේ යෑමක් වැනි වැඩකි. එවැනි සන්දර්භයක් තුළ සමකාමී අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම යනු දැලි පිහියෙන් කිරි කන අතරේ අතුරේ යෑමක් තරම් මාරාන්තික වූවකි. එහෙත් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් කලාව විසින් ඇති කළ යුතු කතිකාව කොතැනින් හෝ ඇරඹිය යුතුව ඇත. ෆ්‍රැන්ජිපානි ඔස්සේ සිනමාකරු නියැළෙන්නේද එවැනි වූ ප්‍රජාතන්ත්‍රවාදී කලාවක් උදෙසා සාමූහික චින්තනය පුළුල් කිරීමේ වෑයමකය.







නලින්ගේ ආගමනයෙන් වෙනස් වන්නා බවට පත්වන්නේ චමත්ය. එතෙක් ඔහුගේ චරිතාභ්‍යන්තරය තුළ සැඟව තිබූ ඇතැම් ගූඪ චිත්තයන්ට සැබෑ අර්ථයක් සැපයෙන්නේ නලීන්ගේ පැමිණීමත් සමඟය. නිය ආලේපන ගැල්වීමෙන් ඔහු ලබන ප්‍රමෝදයේ සිට සමකාමීන් වෙනුවෙන් පෙනී සිටීම දක්වා වූ චමත්ගේ චරිතයේ අතීත සංසිද්ධීන් නලීන්ගේ පැමිණීමෙන් පසු වඩාත් අර්ථවත් වන්නට පටන් ගනී. සරසි හා චමත්ගේ ප්‍රේමය ද දෙදරා යන අතර නලීන්ගේ ඇසුරෙන් පසු චමත් ඍජුවම සමකාමියකු බවට රූපාන්තරණය වෙයි. සරසිට හිමි වන්නට තිබූ ඔහුගේ ආදරය ඉඳුරාම නලීන් වෙනුවෙන් පුද කරන්නට චමත් පෙළැඹේ. ආපසු ගම්රට බලා යන්නට බසයට ගොඩවන මොහොතේ චමත් නලීන්ගේ කණට කොඳුරන්නේ ආදරණීය තරවටුවකි. ‍

"මාව අමතක කරොත් මං උඹව මරනවා"

සමකාමීත්වයට ලාංකේය සමාජසංස්කෘතික ප්‍රවාහයන් වෙතින් එල්ල වන උග්‍රතර ප්‍රතිවිරෝධය සූක්ෂම ලෙස ඉස්මතු කරන්නට සිනමාකරු සමත් වෙයි. චමත්ගේ පෙරළිය මානසික විකෘතියක් ලෙස වටහා ගන්නා පවුලේ උදවිය තොවිල්පවිල් ආදිය මඟින් පවා ඔහුගේ ‘විකෘතිය’ මැඩ පවත්වන්නට ගනු ලබන වෑයම උපහාසාත්මක ලෙස ඉස්මතු කෙරෙයි. චමත්ගේ ජීවන ආධ්‍යාශය උපේක්ෂාවෙන් යුතුව වටහා ගන්නේ ඔහුගේ මව පමණකි. චමත් නිසා ඇති වූ නින්දාව හේතුවෙන් සංතාපයටත් කෝපයටත් පත් වැඩිමහලු සොයුරා ඔහුට පහර දෙන්නට වූ විට මව චමත් බේරා ගන්නේ ඔහු මිනීමරුවෙකු හෝ ත්‍රස්තවාදියෙකු නොවන බව කියමිනි. භික්ෂුවක වන චමත්ගේ අනෙක් සොහොයුරා ද ඔහුගේ ජීවන ගමන්මඟ පිළිබඳ මනා ලෙස අවබෝධ කර ගත්තෙකු සේ නිරූපිතය. සමාජ අපවාදයෙන් මුදවනු පිණිස චමත් නගරයට ඇරලවනු ලබන්නේ ද සොයුරු භික්ෂුව විසිනි.

නලින්-සරසි විවාහයෙන් පසු හුදෙකලාවන චමත් සමකාමියෙකු ලෙස ස්වකීය ජීවිතය ගත කිරීමට ගන්නා උත්සහය හා ඒ තුළ ඔහු මුහුණ පාන්නා වූ අනේකවිධ ගැහැටකම්කටොළු සංවේදනාත්මක සිනමා රූප පෙළක් ලෙසින් අප ඉදිරියේ දිග හැරෙන්නට සලස්වනු ලැබේ. සංස්කෘතික විනිශ්චයන්ගෙන් හා බන්ධනයන්ගෙන් ඔද්දල්ව මහා සමාජයෙන් පළා යන චමත් සමකාමී සමාජය විසින් සාදරයෙන් පිළිගනු ලබයි. ඔහු සිය ජීවිතේ අර්ථය අවබෝධ කරගනු ලබන්නේ එතැනින් පසුවය.

නලීන් සමකාමියෙකු වුවත් ඔහුගේ අභිලාෂයන් තරමක වෙනස් හැඩහුරුකමක් ගනී. ස්වකීය හැඟීම් එළිදරවු වනවාට ඔහු අකමැතිය. ඔහුට අවශ්‍ය වන්නේ සාමාන්‍ය මිනිසෙකු ලෙස ජීවත් වීමටය. චමත්ගේ සමකාමී ආදරය ද මඟහරිමින් සරසි හා විවාහ වන්නේ ඔහුගේ පුද්ගල අභිලාෂයන් ඒ ඔස්සේ මුදුන් පමුණුවා ගැනීමේ අරමුණ ඇතිවය. එහෙත් විවාහයෙන් ටික කලකට පසු නලීන් චමත් සොයා නගරයට පැමිණෙන්නට වන අතර ඔවුහු යළිත් සුපුරුදු සමකාමී කායික ප්‍රේමයෙන් බැ‍ඳෙති. මෙකී සිද්ධි දාමය හා සසඳන විට The Falls: Testament of Love සිනමා කෘතිය සහ ෆ්‍රැන්ජිපානි අතර කිසියම් දූරස්ථ වූ සමානකමක් පෙනී යා හැකිය. එහි හමුවන ක්‍රිස් සහ ආර්ජේ ෆ්‍රැන්ජිපානි හි නලීන්, චමත් මෙන් සමාන්තර තත්වයන්ගෙන් ගොඩනැංවී ඇති චරිත යුගයලකි.







ලංකාවේ සමලිංගික චර්යාවන්ට අදාළව පවත්නා නීතිමය අඩුලුහුඬතාවන් ද සිනමා කෘතිය ඔස්සේ පෙනෙන්නට සලස්වා ඇත්තේ එවැනි සිද්ධියක් මූලික කරගනිමින් නලීන් සිරභාරයට පත්වීම හා බැඳුනු සිදුවීම් දාමය තුළිනි. නලීන් නෛතික දණ්ඩනයෙන් නිදහස් වුවත් ඒ කරණ කොට ගෙන ඔහුගේ විවාහ සංස්ථාව බිඳී යන්නට පටන් ගනී. සමාජ අපවාදයට ද ලක්වේ. මෙය වූකලී, සමකාමීත්වය සම්බන්ධයෙන් නීතියට වඩා සමාජ සංස්කෘතික සම්මතයන්ගේ තීව්‍රතර භාවය බලපවත්වන බව පෙන්වන අවස්ථාවක් සේ සැලකිය හැකිය.


ෆ්‍රැන්ජිපානි තුළ තේමාත්මක සංකේතය වන්නේ සය පෙති අරලියා මල පිළිබඳ රූපකයයි.

"මේ අරලියා මලට පෙති හයයි. කොහොමද එහෙම වෙන්නෙ? අරලියා මලට පෙති පහයිනෙ"

"පෙති හයේ අරලියා මලුත් තියනව"


සමකාමීත්වය පොදු මානව ධර්මතාවයන්ගෙන් වෙසෙසි වූ, එහෙත් එය නොඉක්මවන තත්වයක් බව සිනමාකරුවා අප හමුවට ගෙනෙන්නේ එවැනි සෞන්දර්යාත්මක රූපකාර්ථවත් ඉඟියකිනි. සය පෙති කුසුමක් වුව එයද එකසේ සුවඳැති අරලියා මලකි. අරලියා මල හැම විටම අරලියා මලක් වීමම මිස මල් පෙත්තක වෙනස හුවා දැක්වීමේ අරුත කුමක්ද?

සමකාමී අයිතීන් කලාව ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවන් තුළට ගෙන ඒමේ ප්‍රවණතාව අද වන විට ලෝක මට්ටමෙන් දක්නට ලැබෙන තත්වයකි. එහෙත් ලංකාවේ පවතින තත්වය හමුවේ මෙවැනි සිනමා කෘති සම්බන්ධයෙන් ඇතිවිය හැකි තත්වය බොහෝවිට කණගාටුදායක විය හැකිය. එසේ වුවද ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් කලා භාවිතාවන් ප්‍රවණතාත්මකව වර්ධනය කිරීමත් ඒ වෙනුවෙන් පෙනී සිටීමත් අද දවසේ කලාව වෙනුවෙන් පෙළගැසෙන්නන් විසින් අත්‍යවශ්‍යයෙන්ම කළ යුත්තක් බව අවධාරණය කළ යුතුමය.

Wednesday, July 2, 2014

ශ්‍රී ලාංකීය​ දෙමළ​ සමරිසි හඬ Ruban Lawrence... Voice of Sri lankan Tamil Gay

ශ්‍රී ලාංකිකයන් විදියට සමරිසි භාවය හා අපේ වික්ටෝරියානු සංස්කෘතිය පොදි බැඳ ගත් සමාජය අතර ලොකු ගැටීමක් තියෙන්වා.
83 පසු ඇතිවූ සමාජ පසුබිම මත අපේ දෙමළ සමාජය ජාත්‍යන්තරයට වඩාත් විවර උනා.ඒ හින්දම වඩා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසක් වගේම ෛධර්‍යයක් ලැබුනා.
මේ පසුබිම නිසාම සමරිසි බව නිසා තමන්ට  ලාංකීය සමාජය හා තිබූ ගැටීම් නොබියව ලෝකයාට කියා පෑමට දෙමළ සමාජයේ විදෙස්ගතවූ සමරිසි පුද්ගලයන්ට ඉඩ ලැබුනා.
ඉන් මට සිහියට නැගෙන පළමු පුද්ගලයා තමයි තම ජීවන අත්දැකීම් නොබියව නව කතාවලට පෙරළූ Funny Boy රචනා කළ Shyam Selvadurei.




ඉහත වීඩියෝවෙන් පෙනෙන්නේත් එවැනිම තවත් තරුණයෙක්. Ruban Lawrence

කැනඩාවට සංක්‍රමණය වී සිටින ඔහු තම අත්දැකීම් ඇසුරෙන් ආසියානු සමරිසි ​ෙයෟවන සහෝදරයන්ට වටිනා පණිවිඩ හා උපදෙස් රාශියක් ලබා දෙනවා.
මේ ඉන් කිහිපයක්.
You tube එකට ගියොත් ඔහුගේ Channel එක හා සම්බන්ධ වී ඔහූගේ අදහස් බෙදා ගත හැකියි.



Monday, April 14, 2014

කිරාංචි Kiranchi By ඉසුරු චාමර සෝමවීර.




කිරාංචි   Kiranchi




හැම දේම සුදු පාටයි. බිත්ති, සිවිලිම, කොටිටෙ, ඇඳ රෙද්ද මේ හැම දෙයක්ම සුදු පාටයි. ඇඳ ළඟ ටීපෝ එක උඩ වතුර වීදුරුවක් සුදු පාට පීරිසියකින් වහලා. හැම දෙයක්ම විකාර විදියට පිරිසිදුයි, පිළිවෙලයි. සුදු පාට ජනෙල් රෙද්ද ජනේලෙන් එහා දේවල් මගෙ ඇස් වලින් හංගනවා. කාලයක් මං සුදු පාටට හිස් නිදහස් ඉඩට හුඟක් ආසා වෙලා හිටියා.

මගෙ කාමරේ කැලැන්ඩරයක්වත් එල්ලන්න මං කැමති වුණේ නැහැ. ඒත් දැන් ඒ සුදු පාට හිස් ඉඩ මට මහ වෙහෙසක් ගේනවා. ඔළුව ඇතුලෙ එක එක සද්ද මහ ගොඩක් දෝංකාර දෙනවා වගේ දැනෙනවා. ඒක වචනෙට ගන්න බැරි වේදනාවක්. උදේ මගෙ බෙහෙත් වේල ගත්තත් උණ අඩුවෙලා තිබුණෙ නැහැ. මගෙ කට ඇතුළෙ මැළියම් තට්ටුවක් බැඳිලා, කට තිත්තම තිත්තයි. නින්දත් නොනින්දත් අතරෙ පේන විකාර ඔළුවෙ බර ගතිය වැඩි කරනවා . මට අඬන්න ඕනෙ. කෑ ගහන්න ඕනෙ. මේ ජරා උණ වසංගතෙන් මාව මැරිලා යයි කියලා ලොකු බයක් හිතට එනවා. ඔක්කොටම වැඩිය දරන්න බැරි ඔළුව ඇතුළෙන් එන වේදනාව.

ඒක දූපතක්. මම හිතන්නෙ කිරංචි වල සිවපුරව් වෙරළට පේන දූපත. ඒ හීනෙ වටිටක්කා, වම්බටු, පතෝල, මෑ වැවිච්ච සාරවත් වගාවක් තිබුණා කියන්න මට හොඳටම මතකයි. තද කොළ පාට විසාල වටිටක්කා කොළ එක යායට හුළඟට පැද්දුනා. ඒවයෙ පිණි බිංඳු ඉර එළියට දිලිසුනා. දම් පාට ලොකු වම්බටු ගෙඩි වල කොළ පාට හීන් පනුවො ඇවිද්දා. කහපාට වට්ටක්කා මල් අතරෙ මී මැස්සො පියෑඹුවා. මමයි කෝප‍්‍රල් සමන් කුමාරයි බොලොක් ගල් වලින් බැඳපු, කපරාරු නොකරපු පොඩි ගෙයක් ඉස්සරහපිට ඉඳන් අපේ වගාව දිහා බලන් හිටියා. අපේ ඇස් දිලිසුනා. කෝප‍්‍රල් සමන් කුමාරගෙ මුණෙ තිබුණෙ මහ වල් දඩයක්කාර හිනාවක්. මගෙ මූණෙත් ලොකු හිනාවක් තිබුණා. කෝප‍්‍රල් සමන් කුමාර ජින්නා, මම උපාලි ගිනි වැල්ල. ඒක වචන වලින් කතා නොකලට ඒ හීනෙ අපි දෙන්නා උපාලියි ජින්නයි කියලා මට දැනුනා. පොඩි ළමයි වගේ නෙමේ මේ දැන් ඉන්න විදියටමයි අපි ඒ හීනෙ හිටියෙ. අපි දෙන්නගෙම මූණු වල ලාවට රැුවුල් කොට වැවිලා තිබුණා. අපේ ගෙදර බැල්ලි බ්ලැකී හෙළවෙන වට්ටක්කා කොළ ගොල්ලක් දිහාවට බුරමින් හිටියා. සමන්ගෙ ඇස් හීන් වුණා.

"ඉත්තෑවෙක්, ඕකුං අපේ වගා කාබාසිනියා කරනවා."

සමන් මගෙ කන ළඟට එයාගෙ ලොකු තොල් තියලා මිමිණුවා. සමන් තුවක්කුව ඇහැ ළඟට තියලා, ඇහැ හීන් කරලා කුරුමානම් ඇල්ලුවා. ඌ ඉත්තෑවෙක් නෙමේ හාවෙක්. ලොකු වට්ටක්කා කොළ උඩ ලේ බිංදු ඉහිලා. සමන් දඩයං දත් පේන විදියට ලොකුවට හිනා වුනා. මමත් හිනා වෙවී හිටියා කියන්න මට මතකයි. ඌ සෑහෙන්න විසාල අඳුරු පාට හාවෙක්. ඊට පස්සෙ හීනෙ කොටසක් අපැහැදිලියි.

ඊළඟට අපි හිටියෙ වෙරළක. ඈතින් හඳ එළියෙ මුහුද සන්සුන් විදියට නැළවුණා. අපි දෙන්නා එක ළඟින් වැතිරිලා හිටියා. තරමක ගිනි මැලයක් අපි ඉස්සරහ පට පට ගගා ඇවිලුනා. මං හිටියෙ රොබින්සන් කෲසෝගෙ කතාව සමන්ට කියලා දෙමින්. මගෙ රොබින්සන් කෲසෝ කතාවෙ ෆ‍්‍රයිඩේ හුඟක් කඩවසම් මිනිහෙක්. රොබින්සන් කෲසෝයි ෆ‍්‍රයිඩෙයි ජීවිත කාලෙම ඒ දූපතේ ඉන්න තීරණය කරනවා. මොකද ඒ දෙන්නට ඕනෙ විදියට ජීවත් වෙන්න ලෝකෙ කිසිම තැනක ඉඩක් නැහැ. ඒ දෙන්නා මිලේචිඡයොත් එක්ක සටන් කරනවා. කොටින්ම ෆ‍්‍රයිඩේ තමන්ගෙ නෑයන්ව මරනවා රොබින්සන් කෲසෝ වෙනුවෙන්. කෲසෝ තමන්ගෙ රටට අයිති නැව් දකිනකොට හැංගෙනවා. එයාලා වවනවා, එකට පීනනවා, දඩයම් කරනවා, සද්දෙට පිරිමි හඩින් හිනා වෙනවා. සමන් මගෙ ඇස් වලට එබිලා බලනවා. ඒ ඇස් තෙතයි, දිලිසෙනවා. එයාගෙ ඇඟ හරිම උණුසුම්. ලාවට රස්නයක් තියන වෙරළෙ වැලි තලාව උඩ අපි පෙරලෙනවා. සමන්ගෙ කොණ්ඩෙ තැවරිච්චි වැලි මම පිහදාන කොට සමන්ගෙ ඇස් වලට බැරෑරුම් පෙනුමක් එනවා. අපිට තව කී දවසක් මේ විදියට මේ දූපතේ ඉන්න ලැබෙයිද? අපේ උන් කොයි වෙලේ මේකට කඩාපාත් වෙයිද දන්නෙ නෑ. මම පාත් වෙලා සමන්ගෙ නළල ඉඹිනවා. එතකොට එයාගෙ ඇස් හීන් වෙනවා. එයා බිබී හිටපු සිගරට් එක සමන් මට දෙනවා. අපි උඩ බලාගෙන මාරුවෙන් මාරුවට සිගරට් එක උරනවා .

"අරක ඔරායන්, අර පේලියට තියන තරු තුන, ඔරායන්ගෙ බෙල්ට් එක."

සමන් මගෙ අත දිගේ තරු බලන ගමන් එක අතකින් මාව අත ගානවා. මාව ගිනියං වේගෙන එනවා.

"හපෝ තමුසෙ දන්න දේවල්, තරුයි , මාළුයි, ඉංගී‍්‍රසියි, දෙමළයි, හැම කෙහෙල්මල ම දන්නවා"

මටයි සමන්ටයි දෙන්නට ම හිනා යන්නෙ එකටමයි.
"මං වෙඩි තියන්න දන්නෙ නෑ, වගා කරන්න දන්නෙ නෑ" මම කියනවා.

"ඇයි මම උපාලි ගිනිවැල්ලෙ නොවී ජින්නා වුණේ ?"
සමන් එක පාරටම ඇහුවම මම අනිත් පැත්ත හැරිලා. සමන්ව තදින් බදා ගත්තත්, සමන් මාව තල්ලු කරනවා.

"තොපි ඔක්කොම එකයි, තෝත් මාව රවට්ටනවා. කියපිය තෝත් මාව රවට්ටනවා නේද?"

සමන්ගෙ දඩයං දත දිලිසෙනවා. මමත් සමන්ව තල්ලු කරනවා.
"උඔලා තමා රවට්ටන්නෙ, මට හැමදාම වුණේ රැවටෙන්න,"

අම්මා විනාකිරි පොඟොපු රෙදි කෑල්ලක් මගෙ නළලෙ එලනවා. ඒ රෙදි කෑල්ල සීතලයි.

"කැඳ ටිකක් ගේන්නද?"

"එපා, බොන්න බෑ, කට අප්පිරියයි"

"සැරට ලුණුමිරිසක් හදල පාන් කෑල්ලක් කමු, දැන් තියෙන්නෙ අසත්තිය. දවස් හතරකින් ඇඟට හරි හමන් කෑමක් වැටුණෙම නෑනෙ"

"කන්න බෑ, කට තිත්තයි අප්පිරියයි"

"එහෙම කියලා හරියන්නෙ නෑනෙ, එහෙනං ආයෙ හවසට දොස්තර මහත්තයා ගාවට යමු"

මම මුකුත් නොකියා රෙද්දෙන් මුණ වහ ගන්නවා. එතකොට අඳුරුයි. ආලෝකෙට දෙන්න බැරි සුවයක් පහසුවක් අන්දකාරෙ මට දෙනවා. අන්දකාරෙ ඇතුළෙදි කිසිම දෙයක් සුවිශේෂ නැහැ. කිසිම දෙයක් කැපිලා පේන්නෙ නැහැ. කිසිම දෙයක් දිහා බලන්න කියලා අපේ ඇස් අපිට බල කරන්නෙ නැහැ. ආලෝකෙ අරන් එන්නෙ නැති සිසිලක් පහසුවක් අන්දකාරෙ ගේනවා. රෙද්දෙන් ඔළුව වහ ගත්තම මට අම්මව පේන්නෙ නෑ. ඒත් එයා එතන ඉන්නවා කියලා මට තේරෙනවා. ටිකකින් එයා යනවා මට ඇහෙනවා. ආයෙමත් එළියට නිරාවරණය වෙන්න මට ඕනෙ නැහැ. මම රෙද්ද ඇතුළෙ ගුලි වෙනවා. ඔළුව එකම විදියට තියාගත්තම පහසුයි. එහාට මෙහාට හැරෙනකොට මගෙ සමතුලිතතාවෙ බිඳිලා ගිහිල්ලා විසාල ප‍්‍රපාතෙකට ඇදගෙන වැටෙනවා වගේ බයක් වේදනාවක් හිතට එනවා. නොහෙල්ලී මං අන්දකාරෙට ඇහුන්කන් දෙනවා.

මං යශෝධරන්ගෙ ගෙදරට ගියෙ තිලිත් එක්ක. තිලීබන් කියන නම කෙටි කරලා අපි හැමෝම එයාට කිව්වෙ තිලී කියලා. ඒ මම කිරාංචි ආව පළවෙනි වතාව. ඒ පාර අපි කිරාංචි ගියෙ මන්නාරාමෙන් විඩතලදිව් පහු කරලා වෙල්ලන්කුලම් වලින් හැරිලා මුලන්කාවිල් හරහා. කිරාංචි වල ඒ විසාල වගුරු බිම හරහා යද්දි මට මොකද්දො මහ අමුත්තක් දැණුනා. ඒක අහසට නිරාවරණය වෙච්ච මහ විසාල තැනිතලාවක්. ඒ මහා වගුර වේලිලා තිබුණෙ. වතුර ඉතුරු වෙලා තිබුණු තැන් තැන් වල එක එක වර්ග වල කොක්කු මාළු අල්ලමින් හිටියා. මට ඒ වගුරෙ පිංතූර ටිකක් ගන්න ඕන වුණත් කටිටිය චුරු චුරු ගාන්න පටන් ගත්තා. හැමෝටම ඕන වුණේ වැඩ ටික ඉක්මනට ඉක්මනට ඉවර කරලා කරුවල වැටෙන්න කලින් මන්නාරමේ අපි නතර වෙලා හිටපු හෝටලේට යන එක. යුද්දෙ ඉවරයි කිව්වට පහුගිය දවස් ටිකේ එහෙ මෙහෙ ගිය ටිකට අපිට දැනේනන පටන් අරන් තිබුණා අපි මේ කරක් ගහන්නේ වෙනම ම ලෝකෙක කියලා.

කිරංචි සිවපුරම් වල අපි මුලින්ම ගිය ගෙදර රෝස පාට පතුරු ගිය තනි බිත්තියකට පොල් අතු යාලත්තක් බාලා හදපු පොඩි පැලක. මිදුලෙ තුලාසි පඳුරක් වවලා. පැත්තක සමන් පිචිච පැලේ පීදිලා කියලා, හොඳට අතුගාපු මිදුලට ඇතුල් වෙනකොටම එන සුවඳින් දැණුනා. තිලී ඉස්සර වුණා වීඩුකාරෙංග? උච්චාරණේ හරි නැති වුණාට තිලී ඉන්දෙද්දිත් මම එහෙන් මෙහෙන් වැරදි දෙමළ කියෙව්වා. ඒ ගෙදර හිටියෙ කහ පාටට හුරු තැඹිලි පාට කිළුටු සාරියක් ඇඳ ගත්ත අම්මා කෙනෙකුයි, උස හීන්දෑරි කෙල්ලෙකුයි.

"අපි ....... විශ්ව විද්‍යාලෙන්, කිරාංචි කලපුවෙයි, වගුරු බිමෙයි, ඉන්න මාළු වර්ග ගැන පරීක්‍ෂණ වගයක් කරන්නයි යන්නෙ, ඒ වැඩේට අපිට ඔයාලගෙ උදව් ඕනා. අවුරුදු ගානකින් මේ පැත්තෙ ඉන්න මාළු ගැන කව්රුවත් පරීක්‍ෂණ කරලා නෑ. අපි විශේෂයෙන්ම හොයන්න බලාපොරොත්තු වෙන කාරණා දෙකක් තියනවා. එකක් තමා කලපු වතුරෙ මේ පැත්තට ආවේනික දැල්ලන් විශේෂ මොනවද කියන එක, අනික කිරංචි කලපුවෙ මාළුන්ගෙ ඇඟේ තියන රස දිය ප‍්‍රමාණ මනින එක. මේක අවුරුද්දක් විතර යන විශේෂ ව්‍යාපෘතියක්."

තිලී ලොකු ලස්සන හිනාවක් එක්ක දෙමලෙන් කියා ගෙන කියා ගෙන යනකොට අර අම්මයි, හීන්දෑරි කෙල්ලයි හිස් බැල්මකින් අපි දිහා බලන් හිටියා .

ඒ මුණු හිස්. ඒවයෙ සතුටක්වත්, වේදනාවක්වත්, අඩුම තරමෙ කිසිම දෙයක්වත් ඇඳිලා තිබුණෙ නැහැ. මිදුලෙ මල් හිටවන්න ඇත්තෙ ඒ දෙන්නා නෙමේ වෙන්න ඇති කියලා මගෙ හිත මට කිව්වා. යාපනෙන් ආපු තිලීගෙ මුණෙ මොට්ට පාට හිනාවක් ඇඳිලා තිබුණා. ඊළඟට කරන්නෙ මොකක් ද කියලා හිතා ගන්න බැරුව අපි මෝඩ විදියට හිටගෙන හිටියා.

"යං මහත්තයා" තිලී මගෙ කනට කෙඳිරුවා.

ඒ අම්මගෙ ඇස් වලින් එක පාරටම මොකක්දෝ තෙතක් දිස්නයක් කාන්දු වෙන්න ගත්තා. හැමදෙයක්ම හරි ඉක්මණට වුණේ. ඒ අම්මගෙ මූණෙ මහ විසාල හිනාවක් ඇඳුණා.

"යශෝ, යශෝ , එල්ලුඩය මගන්"
කෙල්ලගෙ ඇස් ලොකු වුණා. ඒකි තදින් අම්මගෙ අත අල්ල ගත්තා.

"අම්මා, අවන් යශෝ ඉල්ෙලෙ" ඒකි කෙඳිරුවා.

අම්මා එකපාරටම ඇවිත් මගෙ අතක් එයාගෙ අත් දෙකෙන්ම තද කරල අල්ල ගත්තා. මට වෙන්නෙ මොකක්ද කියලා හරියටම තේරුණේ නැතත්, මොකක් හරි මෝඩ චිත‍්‍රපටියක රඟපාමින් ඉන්නවා වගේ දැණුනා. තිලී පැනලා ඒ අම්මගෙ අත ගලවන්න හැදුවත්, තැඹිලි සාරි අම්මා මාව හිර කරලා අල්ලගෙනයි හිටියෙ. කෙට්ටු කෙල්ල හුස්ම අල්ල අල්ල මොනවදෝ වේගෙන් කියෙව්වා. ඒක යාතිකාවක් වාගේ . එහෙන් මෙහෙන් වචනයක් දෙකක් තේරුණත්, ඒකි වේගෙන් කියෝගෙන කියෝගෙන ගිය නිසා මට කිසිම දෙයක් හරියට තේරුණේ නැහැ. තිලී මට ඒකිව පරිවර්තනය කලා. යශෝ එයාගෙ අයියලු. එයා අතුරුදහන් වෙලාලු. තාත්තත් මැරිලලු.

"මැරිලද, මරලද?" මම ඇහුවා.

ඒක අහන්න ඕන නැති තරම් මෝඩ ප‍්‍රශ්නයක් කියලා මට තේරුණේ තිලී මං දිහා බලපු බැල්මෙන්. යශෝ කොයි වෙලේ හරි එයි කියලා මේ අම්මයි, දුවයි බලන් ඉන්නවා. අම්මගෙ ඔළුව ටිකක් හොඳ මදිලු. එයා දකින දකින කෙනාට යශෝ කියලා කතා කරනවලු. මේ කෙල්ල හිතනවලු යශෝ පණ පිටින් නැතුව ඇති කියලා මොකද එහෙම ඉන්නවා නම් ඇයි තාම නාවෙ කියලා එයා අහනවා? "වෙන රටක හරි, කඳවුරක හරි ඉන්නවා නමි ?" මං ඇහුවා. කෙල්ල ඒකිගෙ දුඹුරු පාට ගැහිචිච දත් පෙන්නලා ඔළුව වනලා හිනා වුණා.. "ඔයා මොනවද දන්නෙ අපි ගැන" වගේ දෙයක් ඒ හිනාව ඇතුළෙ තියෙන්න ඇති. එතකොටයි මම දැක්කෙ ඒකිගෙ කකුල්.

වළලුකරෙන් උඩ කොටස පිච්චිලා. හම ඇකිලිලා. ඒක වුණෙ කොහොමද කියලා අහන්න හදලත් මං ඒ ප‍්‍රශ්නෙ ගිල්ලා. යශෝගෙ අම්මගෙ ඇස් වල සුද බැඳීගෙන එනවා. ඒත් ඒ සුද පහු කරගෙන මොකක්දෝ තෙත කාන්තියකින් ඒ ඇස් දිලිසෙනවා. කෙල්ල අපිට ගෙට කතා කලා. මුළු ගෙදරම තිබුණු ප්ලාස්ටික් පුටු දෙකේ මමයි, තිලියි වාඩි වුණා. අනිත් කටිටිය කැමැත්තෙන්ම එළියෙ නතර වුණා. ලොකු ඇලුමිනියම් මුට්ටි දෙකකුයි, මදුරු දැලකුයි එක මුල්ලක තිබුණා. තවම පැකින් වත් කඩලා නැති මොකකදෝ උස දෙයක් බිත්තියකට හේත්තු කරලා තිබුණා. ඉන්දියන් රජයේ පරිත්‍යාගයක් කියලා බාසා තුනෙන්ම ඒ පාර්සලේ ගහලා. පුල්ලෙයාර් රූපයක් රෝස පාටට තීන්ත පතුරු යන බිත්තියෙ එල්ලුනා. සුදුපාට ප්ලාස්ටික් මල් මාලයක් දාලා තිබිච්ච පිංතූරෙ හිටිය මනුස්සය මේ කියන යශෝධරන්ගෙ තාත්තා වෙන්න ඇති කියලා මම අනුමාන කලා.

අපුරුම දේ තිබුණෙ රෝස පාටට පතුරු යන බිත්තියෙ පැස්ටල් වලින් ඇඳලා. ඒක බිත්තිය පිරෙන්න ඇඳපු දැවැන්ත චිත‍්‍රයක්. ඒකෙ හිටියෙ යෝධ ගිරව් දෙන්නෙක් මූණෙන් මුණ බලාගෙන. උන් වහලා හිටියෙ මල් වලින් බර වෙච්ච අත්තක. ඒ ගිරව් හරියට මැකෝ ගිරව් වගෙ. උන්ගෙ පිහාටු හැම පාටකින්ම පාට කරලා. අම්මා ඒ වෙනකොටත් මගෙ අත අතඇරලා තිබුණෙ නෑ. හරියට මම එයාව අත ඇරලා දුවයි වගේ. "ඕක ඇන්ඳෙ අපේ නිලාමදි" අම්මා දෙමළෙන් කිව්වා. ඒ කෙල්ලගෙ නම නිලාමදි.

නිලාමදි, අපිට කෝපි හදාගෙන ආවා. ඒ කෝපි එකෙන් කොත්තමල්ලි රසකුත් එනවා. ඒක නිසා කෝපි බොනකොට මොකක්දෝ අමුතු සිසිලක් දැනෙනවා. කෝපි කොටන කොට කොත්තමල්ලිත් දාලා කොටනවා ඇති කියලා හිතුවත් මං ඒක අහන්න ගියෙ නෑ. එතන හැදිලා තිබිච්ච නිස්සද්දතාව හරි ඝනකම්. එළියෙ ඉන්න අයට කෝපි දෙන්න කෝප්ප මදි නිසා නිලාමදි, මමයි තිලීයි බීලා ඉවර වෙනකන් බලන් හිටියා. ඒත් එළියෙ හිටිය හතර දෙනාගෙන් තුන් දෙනෙක්ම මේ ගෙවල් වලින් වතුරවත් බොන්නෙ නැති බව මං දැනං හිටියා. "ඔයාද මේ චිත්‍රෙ ඇන්දෙ? හරි ලස්සනයිනෙ" මම දෙමලෙන් ඇහුවම කෙල්ලගෙ ඇස් දිලිසුනා.

"මම තමා ඇන්දෙ, මේ යශෝ, මේ වාකි" කෙල්ල ගිරව් දෙන්නට අත දික් කරලා පෙන්නුවා. තිලීටයි මටයි මූණෙන් මූණ බැලුනා. අම්මට වගෙ මේ කෙල්ලටත් ඔළුවෙ අමාරුවක් තියෙවා වගේ. ඒකි ආයෙමත් ආවේසෙකින් වගේ කියවන්න ගත්තා. ගොත ගගහ පැමිණිල්ලක් කරනවා වගේ ඒකි කියෙව්වෙ. ඒ වේගෙ අල්ල ගන්න බැරි නිසා මම වචන අල්ලන එක නතර කලා. නිලාමදි කියෙව්වෙ ඔළුව කහ කහ. එයාගෙ ඇස් ලොකු වෙන හැටි පුංචි වෙන හැටි, මූණ ඒ මේ අතට හරවන හැටි මං බලා හිටියා. ඒ කොණ්ඩෙ තඹ පාටක් ගැහිලා. අම්මා ඒ වෙද්දි මාව අත ඇරලා ගිහිල්ලා සුට් කේස් එකක් අවුස්ස අවුස්ස මොනවදෝ හොය හොය හිටියෙ. එළියෙ හිටිය අපේ කටිටිය සැරින් සැරේ ගෙට එබුණෙ යමු කියලා නොකියා කියමින්. නිලාමදි හෝ ගාලා කියවනවා.

අම්මා සුට්කේස් එකෙන් හොයාගෙන ආවෙ කළු සුදු පිංතූරයක්. ඒ පිංතූරෙ හිටියෙ මගෙ වයසෙම වගේ කොල්ලො දෙන්නෙක්. දෙන්නා කරවල් වල අත් දාගෙන. නිලාමදි ඇවිල්ලා තිලීටයි මටයි පිංතූරෙ ඉන්න අයව විස්තර කලා. ඉත්තෑකූරු කොණ්ඩයක් එක්ක ලොකු ඇස් දෙකක් තිබුණු කඩවසමි හාදයා යශෝධරන්. පොඩි ළමයෙකුගෙ හිනාවක් තිබුණු අනිත් කෙනා වාකීසන්. දෙන්නම ලොකුවට හිනා වෙනවා. මගෙයි යශෝධරන්ගෙයි සමාන කමකට තිබුණෙ ලොකු ඇසුයි, ලොකු තොලුයි විතරයි. ඒක අම්මෙක්ව රවටිටන්න පුළුවන් සමානකමක් නෙමේ. අපි ආපහු එන්න පිටත් වෙනකොට ඒ අම්මා ටිකක් සන්සුන් වෙලා හිටියෙ. එයා ටිකක් ඈතින් ඉදන් අපි දිහා බලන් හිටියා. ඒ ඇස් කියන දේවල් තේරුම් ගන්න උත්සහ කළත් සුද බැඳිචිච ඒ ඇස් මුකුත්ම කිව්වෙ නෑ.

"නොකිව්වට ඕකුං ඔක්කොම කොටි වෙන්න ඇති, දැක්කද ඒකිගෙ කොන්ඩෙ කොටට කපලා තිබිච්ච හැටි"

ජයේ කියන කොට තිලී මං දිහා බලලා හිනා වුණා. ඒ හිනාව මට තේරුණා. තිලී කැනඩාවට යන්න ඒ වෙන කොට හුඟක් මහන්සි වෙමින් හිටියෙ. ඒ අතරවාරෙ පොඩි පොඩි පරිවර්තන වැඩ කර කර හොයා ගන්න සල්ලි හරි පරිස්සමට ඉතුරු කලා. මූණට නොකිව්වට තිලී හරි කුණා කියලා අපේ කට්ටිය කතා වෙනවා මට කීප විටක්ම ඇහිලා තිබුණා.

"මොනවද ඒ කෙල්ල ආවේසෙන් වගේ දෙඩෙව්වෙ?" මම ඇහුවා තිලී අතීරණෙන් වගේ තත්පරයක් ඉඳල පිටිපස්ස හැරිලා ජයේ දිහා බලලයි කතා කරන්න ගත්තෙ.

නිලාමදි එයාගෙ අයියගෙ කතාවයි කිව්වෙ, අයියට ඕනෙ වුණේ සංගීතෙ ඉගෙන ගන්නලු. ගිටාර් ගැහුවලු. යාළුවොත් එක්ක ගෲප් එකකුත් පටන් ගත්තලු. එයාලම එකතු වෙලා ඩ‍්‍රව් සෙට් එකකුත් හැදුවලු. හොඳට සින්දු කිව්වලු. අයියා ඉංගී‍්‍රසි සිංදු කියන්නලු වැඩිය කැමති. අයියගෙ හොඳම යාළුවා, වාකිත් සිංදු කිව්වලු. ඒ දෙන්නා පොඩි කාලෙ ඉඳන්ම හොඳම යාළුවොලු. පස්සෙ පස්සෙ එයාලා සිංදු කියන එක නවත්තලා. මොකද වාකි නිතරම යශොත් එක්ක රංඩුවට ඇවිත්. වාකිත් එක්ක කතා කරන්න එපා, එයා කියන ඒවා විශ්වාස කරන්න එපා කියලා, යශෝ නිලාමදීටයි අම්මටයිත් නීති දාලා. ගෲප් එකේ අනිත් කොල්ලොත් හිටියෙ වාකිගෙ පැත්තෙලු. සංවිදානෙ හිටපු කමලා කියලා ගෑනියෙකුත් ඒ දවස් වල වාකිව මුණ ගැහෙනවා කියලා ආරංචි ආවලු. යශොයි, වාකියි තරහ වෙලා. වාකි සැරෙන් සැරේ යශෝව බලන්න ආවම යශෝ වාකිට බැනලා එලෝගෙන. දෙන්නා දරුණු විදියට රණ්ඩු කර ගත්තලු. ඊට ටික දවසකට පස්සෙ වාකි අතුරුදහන් වෙලා. යශෝ දවස් ගානක් නොකා නොබී බලාගත්තු අත බලාගෙන ඉඳලා. පස්සෙ එක රෑක ගෙදර කට්ටියට එයා ගැන ආයෙ හොයන්න එපා කියලා පොඩි ලියුමක් ලියලා තියලා අතුරුදහන් වෙලා. පස්සෙ කාලෙක නිලාමදිත් සංවිදානෙට බැඳුනට යශෝ ගැනවත් වාකි ගැනවත් කිසිම තොරතුරක් හොයාගන්න බැරි වෙලා. නිලාමදිලගෙ ලිඳ ගාවට හැමදාම හවසට ගිරව් දෙන්නෙක් එනවලු. උන් මාල ගිරව්. නිලාමදිලා උන්ට බත් දෙනවලු. උන් නිලාමදි දිහා බලන විදියට නිලාමදීට හිතෙන්නෙම ඒ කොහෙදි හරි මැරිච්ච යශෝයි වාකියි කියලාලු.

මගෙ ඔළුව ඇතුළෙ යශෝයි, වාකියි ගැන වෙනමම කතාවක් දළු දාන්න ගත්තත් මම ඒ දළු කඩලා විසි කලා. මට එක පාරටම මං ගැනම මහ හිරිකිතක් දැණුනා.

අම්මා වමනෙ දාන්න මගෙ ඇඳ ළඟ තියලා තිබුණු ටින් එක මම දැක්කෙ දෙකක් වගේ. වමනෙ ගියෙ මුහුදෙ රැළි ගහනවා වගේ. අන්තිමට ඇඟ දඟර ගගහා ඔක්කාරෙ කලත් එළියට දාන්න දෙයක් තිබුණෙ නැහැ. වමනෙ බිම හැම තැනම. ඔළුව ඇතුළෙන් එන වේදනාව දරන්න බැරි තරම්.

"කිලිනොච්චි කියන එකේ තේරැම දන්නවද? නික ගස් වල වහපු ගිරව්, මේ දම් පාටට පොඩි මල් පිපුණු, හීන් දිග කොළ තියන ජාතිය...." තිලී නික ගහක් දැකපු වෙලාවක කිව්වා. සට සට ග ගා ගිරව් පියාඹනවා.. උං හැමතැනම වහලා. යට ලීයෙ පෝළිමට. ජනෙල් පඩිය උඩ වහන්ඩ ඉඩ නැති උං කිරීස් ග ගා කෑ ගගහා පියාඹනවා. ආච්චිලගෙ වත්තෙ පොල් කඩපු අවුරුදු ගාණකට කලින් ගහකින් වැටිලා මැරිච්ච ජේමිස් සරම කැහැපොට ගහගෙන මයිල් පිරිච්ච කකුල් වන වන ගිරව් වහලා ඉන්න බාල්කෙක වාඩි වෙලා රතු ඇස් වලින් මගෙ දිහා බලන් ඉන්නවා. මම තද කරලා ඇස් පියා ගත්තා. තද කළු පාට අන්දකාරෙක ගිරව් ඉංගී‍්‍රසියෙන් සිංදු කිය කිය රවුමට රවුමට පියාඹනවා.

කිරාංචි වෙරළෙදි සමන් කුමාරව දැකපු ගමන් මගෙ ඔළුවෙ විදුලි කෙටුවා. එයාට තිබුණෙ ගොරෝසු ඇහි බැමි යටින් වෙඩි තියන ඇස් . මං එයා දිහා කෙලින් බැලුවෙ නැතුවට මාළු අල්ලන මිනිස්සු ගෙනාපු දැල්ලන්ව අපි මනින දිහා මිනිහා උනන්දුවෙන් බලන් ඉන්න හැටි පැත්තට දැක්කා.

"මහත්තෙලා මෙතන වැඩ කරන්ඩ අපේ බි‍්‍රගෙඩ් එකෙන් අවසර ගත්තද?"

මිනිහා ඇහුවෙ සෑහෙන වෙලාවකට පස්සෙ. මං ඔව් කිව්වම මිනිහා මගෙ කට වචනෙ විශ්වාස කළා.

"කට්ටියම සිංහලනෙ, අවුලක් නෑ"

ටිකක් ඈතින් තව ආමි කොල්ලො දෙන්නෙක්, ජයේ දැල්ලන්ගෙ සාම්පල් බෝතල් වලට දාන හැටි බලන් උන්නා. මං සිගරට් එකක් පත්තු කරගෙන හෙවණට ගියා. මාළුවා හැරිච්ච ගමන් මං ඔළුවෙන් කතා කරලා සිගරට් එක දික් කලා. මාළුවා ඇම ගිල්ලා. වෙඩි තියන ඇස් දෙක මගෙ ළඟට ආවා. තිලී අමුතු හිනාවක් එක්ක මට ඇහැක් ගහලා අහක බලා ගත්තා.

"මල්ලි, ගම් පළාත් කොහෙද?"

"මං එප්පාවල, එළියදිවුල්වැව අයියෙ"

මාළුවා ලොකු හිනාවක් එක්ක කිව්වා. තමන්ගෙ ඇස් වෙඩි තියන බව ඌ දන්නෙ නැහැ කියලා කට අරිනකොටම ඕනෙ කෙනෙක්ට තේරෙනවා. වෙඩි තියන ඇස් තිබිචිච මාළුවා දෙපාරක් ඇදලා ආයෙ සිගරට් එක මට දුන්නා.

"මල්ලිලා කි‍්‍රයාන්විතෙත් හිටිය ද ?"

"නැතුව අපි නන්දිකඩාල් වලත් හිටියා අයියෙ, ඒ දවස් වල මට කහ උනත් හැදුණා. හැමෝම හිතුවෙ මං මළා තමා කියලා. දවස් හතරක්ම සිහි නැතුව උන්නා. මංවත් හිතුවෙ නෑ ආයි බත් කයි කියලා. පුරුවෙ පිනක් තිබිලා බේරුණා. අයියා කොයි පළාතෙ ද?"

"මං පිළියන්දල, මෙහෙ හොඳයි ද?"

කොල්ලා හීනියට හිනා වුණා. වෙඩි තියන ඇස් දෙකකුයි ලොකු තොල් දෙකකුයි තිබුණට, ඌට තිබුණෙ පොඩි එකෙකුගෙ අහිංසක හිනාවක්. උල් දඩයං දත් නිසා ඒ හිනාව ඇතුළෙ වෙනම ලස්සනකුත් තිබුණා.

"දැන්නං ඉස්සර තරං නිවාඩු ගන්ඩ අමාරු නෑ. ඒත් ඉතිං ගම් පළාතෙ ඉන්නවා වගේ කොහෙද?"

"ඇයි ඒ, එහෙ දාලා එන්න බැරි කෙනෙක් ඉන්නවද?"

කොලුවට ආයෙමත් හිනා ගියා.

"තාම එයාව බැඳලා නෑ, එන අවුරුද්දෙ අපි බඳිනවා"

"මොකක්ද නම?"

"බට්ටි"

"බට්ටි?"

"ඇත්ත නම දමයන්ති, ගෙදෙට්ට කියන්නෙ බට්ටි කියලා"

"කවුද බට්ටි කියලා නම දැම්මෙ, ඔයාද?"

"නෑ, පොඩිකාලෙ එයාලෑ අම්මා දාන්න ඇති"

"දමයන්ති නං දම්මි කියන්න එපැයෑ, ඇයි බට්ටි කියන්නෙ?"

කෝප‍්‍රල් සමන් කුමාරට හිනා.

"ඒක මට නෙමේ, එයාලැයි අම්මට කියන්න"

"ඉතිං ඔයාවත් මීට පස්සෙ දම්මි කියන්න"

"මොන නම කිව්වම මොකෝ"

මං තණකොළ බිස්සෙ වාඩි වෙලා තවත් සිගරට් එකක් පත්තු කර ගත්තා. සමන්ටත් එකක් දුන්නා.

"කී දෙනෙක්ට වෙඩි තියලා තියනවද?"

සමන් ගැස්සුනා. මං දුං වලල්ලක් ඇරියා.

"අපි පංසල් ගිය, දංසැල් දුන්න කොල්ලො අයියෙ, මල් පුජා කරපු අත් වලින්ම පෙර කරුමෙකට තුවක්කු අල්ලන්න උනාට"

"අක්කරායන් වලදි හම්බ වෙච්ච ආමි මල්ලියෙක් අරුංගෙ කෑම්ප් එකකට ගහපු කරපු හැටි කිව්වා, උංගෙ එකෙක්ටවත් බේරිලා යන්න දීලා නෑ"
මං කිව්වම සමන් නිකට උස්සලා මගෙ දිහා බැලුවා.

"අපේ තාත්තා මැරෙන කොට මට අවුරුදු අටයි. අම්මා මල්ලිවයි, මාවයි මහණ කරන්න හැදුවා. මල්ලි මහණ වුණා. මං කෑ ගහල අඬලා ගෙදර නතර වුණා. මට තව නංගිලා දෙන්නෙකුයි, අක්කෙකුයි ඉන්නවා. අම්මා පොස්පේට් එකේ වැඩට ගියා. දැන් වකුගඩු අමාරුව. එක නංගි කෙනෙක් පැනලා ගියා. අනිත් නංගියි අක්කයි ගෙදර"

ඌ වෙඩි තියන ඇස් වලින් මගෙ දිහා බලාගෙන කියවගෙන කියවගෙන ගියා. ඒ ඇස් තව දුරටත් වෙඩි තියන්නෙ නැහැ.

මං තිලීට කතා කරලා අපි දෙන්නගෙ ෆොටෝ එකක් ගන්න කිව්වා. සමන් යුනිෆෝමි එකේ රැුලි අතින් හදලා මෝල් ගහක් වගේ හිටගෙන හරි කෙලින් කැමරාව දිහා බැලුවා. මං සමන්ගෙ කර වටේ අත දැම්මත්, සමන් මගෙ කර වටේ අත දැම්මෙ නැහැ. "හිනා වෙන්නකො රවං ඉන්න නැතුව" මම කිව්වම කොල්ලා සැර පෙනුම බහින්නෙ නැති වෙන්න හීන් හිනාවක් දැම්මා.

දවල්, නිලාමදි, වෙරළට ආවා අපි ගාව රස්සා තියනවද බලන්න.
අපි ගාව රස්සා තිබුණෙ නැහැ.
හවස අකුණු ගගහා වැස්සා. සමන්ලා පොයින්ට් එකේ තේ වක්කරලා අපිටත් බොන්න දුන්නා. සමන්ගෙන් විතරක් ඉල්ලන්න බැරි නිසා මම ආමි කොල්ලො තුන් දෙනාගෙම ටෙලිෆෝන් නොම්බර ඉල්ල ගත්තා.

ආපහු මන්නාරමට එද්දි වෙල්ලංකුලම් හරියෙදි වාහනේ මඩේ එරිලා, ඒක තල්ලු කරන්න ගිහින් අපි හැමෝම තෙමුණා. ළඟ ගෙදරක කොල්ලො ටිකක් අඬගහගෙනයි යාන්තං තල්ලුකර ගත්තෙ. මන්නාරමට එද්දි පාන්දර එකටත් ළඟයි.

සුබානිස් මාමා තාලෙට මතුර මතුර මගෙ ඔළුව වටේ කරකවලා ගිරෙන් කපන දෙහි ගෙඩි වල බෑ වතුර බේසමට වැටෙනවා. මගෙ ඔළුව ඇතුළෙ ඒ යාතිකාව දෝංකාර දෙනවා. ඇස් අරින්න බෑ ඇස් පිහාටු බරයි .

මම කිරංචි වෙරළෙ හිටගෙන ඉන්නවා. ඈතින් පේන දූපතේ ඉඳන් කවුදෝ අත වනනවා. එයාව බේරගන්න කියලා කෑ ගහනවා. ඒක බැරෑඬි වෙච්ච කටහඬක්. ඒ මම ද? වාකි ද? යශෝ ද? සමන් කුමාර ද? නැත්තං තිලී ද?



ඉසුරු චාමර සෝමවීර.
http://kirikawadi.blogspot.com/2011/04/kiranchi.html



Related Posts Plugin for WordPress, Blogger...