Showing posts with label සමරිසි ආදරය​. Show all posts
Showing posts with label සමරිසි ආදරය​. Show all posts

Saturday, October 29, 2016

ආප්ප ගැසීම සහ කොල්ලන් වැදීම By Ramesha , http://magejointeka.blogspot.com/

 
 
 
සමලිංගිකත්වය යනු කුමක්ද? එක සමාන ලිංගිකත්වය ඇති දෙදෙනෙක් අතර ඇතිවන සම්බන්දකම සරලව සමලිංගිකත්වය කියල නිර්වචනය කරන්න පුළුවන්.අපිට මුල ඉදන්ම මේ සමාජේ සංස්කෘතිය විසින් කියල  තියන මේක හරි , මේක වැරදි කියන ඉගැන්වීමේ වැරදි කියන තැනට සමලිංගිකත්වය අයිති වෙනවා. අපි ආකර්ෂණය විය යුත්තේ විරුද්ද ලිංගිකයන්ට පමණයි කියන හැදෑරීම අපේ සංස්කෘතිය විසින් අපේ ඔලු වලට කාවද්දනවා. සමලිංගිකත්වය දණ්ඩ නීති සංග්‍රය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් ලෙස සටහන් වෙන අතර සමලිංගික විවාහ නීතියෙන් තහනම් කරනු ලබනවා. කොල්ලෝ ගැසීම,ආප්ප ගැසීම යන නම් වලින් සමලිංගිකත්වය සමාජයේ නිර්වචනය වෙද්දී  පොන්නයන් සහ කොලු ගැණු එහෙමත් නැත්තන් ආප්ප කැලි නමින් සමලිංගිකයන් නිර්වචනය කරන්නට විය .gay සහ lesbian යන නමින් හදුන්වන එම සමාන ලිංගිකයින් විෂම ලිංගිකයින්ගෙන් වෙනස් කර සමාජය විසින් හදුන්වයි. මම කතා කරන්නේ ලංකාවේ සමාජය සහ එම සමාජයේ සමලිංගික කියවීම පිලිබදවයි.

සමලිංගික යන වචනේ අහපු ගමන් ලංකාවේ බහුතරයකගේ ඔළුවල මැවෙන්නේ සමලිංගිකයින්ගෙන් ලිංගික ක්‍රියාවලියයි. තේරෙන බාසාවෙන් කිව්වොත් බොහොමයක් පිරිමි කුතුහලයට පත්වන්නේ ආප්ප ගහන්නේ කොහොමද ?කොල්ලෝ ගහන එක ආතල්ද යනුවෙනි .. සමලිංගික සම්බන්දකම් බිහි වන්නේ හුදෙක්ම ලිංගිකත්වය මතය සහ  එය අසාමාන්‍ය , ජුගුස්පාජනක යැයි සමාජයේ බහුතරය මගින් තීරණය කර හමාරය. මිනිස්සු විවිධාකාර බව සහ රුචි අරුචි කම් වෙනස් ය යන සාමාන්‍ය ,  නොතේරෙන උන්ට මානව හිමිකම් සහ අයිවාසිකම් ගැන ඇති දැනුම ගැන කිව යුතු නොවේ

සමලිංගික භීතිකාව(homofobia) ඇති වෙන්නේ මේ අතරය .මිනිසුන්ගේ එක් එක් මොඩල් නිර්මාණය වී ඇති ආකාරය මත ඔවුන් සමාජය සහ සම්බන්දකම් දකින කෝණය වෙනස් වේ. ආදරය කිරීමට ඇති නිදහස යටතේ තමන් ආදරය කිරීමට තෝර ගත යුතු කෙනාගේ ස්ත්‍රී පුරුෂ බාවය ගැන සදහන් වන්නේ නැත . නමුත් සමාජය විසින් සංස්කෘතික සීමාවන්ට යටත්ව විෂම ලිංගිකයින්ට පමණක් අප ආකර්ෂණය විය යුතුය යන්න සම්මතය කර ඇත .මේ සම්මතය කඩාගෙන ආදරය කරන්නන් සමාජ විරෝදීන් වන අතරම මානසික ලෙඩුන් බවටද නිර්වචනය කරයි.

සමලිංගිකයන් යනු මානසික ලෙඩුන් හා සමාජය විනාශ කරනා මාෆියාවක් ලෙස හංවඩු ගසා ඇත. එම මිනිසුන්ව සමාජයට පෙන්නේන්නේ ඔවුන්ගේ ලිංගික බාවය මතය.  ඉතාමත් නිර්දය ලෙස මිනිසුන්ගේ ලිංගිකත්වයට සීමා පනවන කුහකයන්ගේ මාෆියාව තදින් පැතිරී හමාරය . පොන්නයන් යැයි අපහාසාත්මකව හදුන්වන සංක්‍රාන්ති ලිංගික පුද්ගලයින්/ සමලිංගික පිරිමින්ගෙන් හොර රහසේ ආතල් ගන්නා මෙම කුහක රැල  එළිපිට ඔවුන්ව නිර්දය ලෙස විවේචනය කරයි. ලංකාවේ media  විසින් ගොයියන්ට මැජික්   මෙන් සමලිංගික සම්බන්දකම් ගැන ගවේෂණය කර ඔවුන් මානසික අසහනකාරීන් ලෙස ලේබල් කරමින් ලිපි පල කරනා අතර sex  මැජික් වන අසහනකාරීන්ට එම ලිපි ආතල් එකක් වෙයි. රෙද්ද ගලවා සමලිංගික ගැහැණු ලිංගිකව හැසිරෙන නිල් චිත්‍රපට බලා ස්වයං වින්දනයේ යෙදෙන පිරිමි රෙද්ද ඇදගෙන එලියට පැමිණ ආප්ප ගසන ගැණු යැයි කියමින් ඉතාමත් නිර්දය ලෙස සමාන ලිංගිකයින් විවේචනය කරයි. කුහකයන්ගේ සහ බඩු කාරයින්ගේ නීති සහ තහනම් කීරීම් වලින් කප්පාදු වෙන ජීවිත බොහෝය .සමලිංගික සම්බන්දකම් අසුවී සිය දිවි නසා ගත් ප්‍රමාණය ඉහලය. සමාජයේ ගල් පහරට බය වී සැගවී ජිවත් වෙන සමානයන්ගේ ප්‍රමාණය දිනෙන් දින වැඩි වේ. මීනිමරුවන් , සමුල ඝඃතකයින්. බඩුකාරයින් රට පාලනය කරද්දී  සමලිංගිකයින් රටේ අපරාධකරුවන් , මිනීමරුවන් ,සමාජ විරෝධීන් වී ඇත.

ගැනුන්ගේ ආප්ප ගැසීම සියසින් විද ගැනීමට සහ ගැහැණු දෙදෙනෙක් සමග එකවර සැප ගැනීමට නොවිසිලිමත් ආසාවකින් පෙලෙන එමෙන්ම කොල්ලන්ට කියා ආතල් ගැනීමට පුරුදු වී සිටින සමාජයේ එළිපිට රෙද්දෙන් තමාගේ යකා වහගෙන සිටින කුහකයින්ට සම්බන්දකම් සහ මිනිසුන්ගේ ලිංගිකත්වය තීරණය කිරීමට ඉඩ දිය නොහැක. සීමා වැට බැදිය නොහැක. කතා කිරීමේ නිදහස කප්පාදු කර ඇත. නැරබීමේ නිදහස කප්පාදු කර ඇත. ලිවීමේ නිදහස කප්පාදු කර ඇත . නිදහස යන වචනයම කප්පාදු කර ඇත . මිනිස්සුන්ගේ ආදරය කිරීමත් ලිංගික බාවයත් කප්පාදු කර ඇත . ආදරය කරන්නේ ස්ත්‍රියක් සහ පිරිමියක් පමණි. ස්ත්‍රියන් දෙදෙනෙකු ආදරය කිරීම අසම්මතයයි. පිරිමින් දෙදෙනෙකු ආදරය කිරීම පොන්න කමයි. සමලිංගිකයින් පොන්නයින් වෙද්දී කුහකයින් සම්මතය රකින රෙදි අදින උන් බවට පත් වෙයි. 

හෝමෝෆෝබිය යනු සමලින්ගිකයින්ට දක්වන  අසාමාන්‍ය වෛරය හා බීතියයි.  විවේචනය කිරීමේ අයිතිය හා පන්න පන්නා පහර දීම අතර ඇත්තේ ලොකු වෙනසකි. අකමැත්ත හා කැමැත්ත සැගවීම අතර ඇත්තේ සෑහෙන්න වෙනසකි. හොරෙන් විදීම සහ ප්‍රසිද්දියේ ඒවා වාරණය කිරීම තුල  ඇත්තේ කුහක කමකි.

මෙම ලියමන තිරය පිටුපස  කොල්ලන් ගසන , ආප්ප සීන් බලා ස්වයං විදනයේ යෙදෙන තිරය ඉදිරියට පැමිණ ඒවා වරණයට කෑ ගසන අසහනකාර කුහක බදුකාරයින්ටය... 
 
Link  http://magejointeka.blogspot.com/2011/12/blog-post_1724.html

සමලිංගිකයින් සමාජ විරෝධීන්ද ??? by රමේෂා , http://magejointeka.blogspot.com

 

මිනිසුන්ගේ රුචි අරුචිකම් එ‍්‍කිනෙකට අසමාන වීම සාමාන්‍ය දෙයකි.ගැහැනියකගේ සහ පිරිමියකගේත් හුදෙක් සියළු මිනිසුන්ගේත් ලිංගික ආකර්ශනය එකිනෙකට වෙනස් වේ. ගැහැනියක ආකර්ශනය විය යුත්තේ පිරිමියෙකුට පමණක් බවත් පිරිමියෙකු ආකර්ශනය විය යුත්තේ ගැහැනියකට බවත් එය සම්මතය බවටත් සිතනා බහුතරයක් තවමත් අප අතර වෙයි..එනම් අප මිනිසුන් සියල්ල විශම ලිංගිකයින් විය යුතු බවට ඇති සමාජ සම්මතයයි.. නමුත් මිනිසුන්ගේ සිතුම් පැතුම් ආකර්ශනය හා සංවේදීතාවය එකිනෙකට වෙනස් වීමේ හේතුව මත මිනිසුන්ගේ ලිංගිකත්වය විශම ලිංගික/ සමාන ලිංගික හා සංක්‍රාන්ති ලිංගික යනුවෙන් විවිධ පැතිකඩවල් ඔස්සේ ගලා ගෙන යයි..මනුෂ්‍යයන් වන අප අනෙකාගේ ලිංගික තෝරා ගැනීමට ගරු කළ යුතු අතර සම්මතයෙන් එපිටට යාම විහිළුවට ළක් කළ යුතු කරුණක් හෝ අපහාසයට ළක් කළ යුතු කරුණක් නොවේ.. ආගම් බිහි වූයේද මිනිසුන්ගේ රුචි අරුචි කම් හා සිතුම් පැතුම් මෙන්ම විශ්වාසය මතය.බොහෝමයක් ආගම් වල හා මිනිසුන්ගේ විශ්වාසයන් අතර සමාන ලිංගිකයින් එසේත් නැත්නම් සමලිංගිකයින් වීම පවක් ලෙසින් දක්වා ඇත.දෙවිවරු හා ආගම් බිහි වූයේ මනුෂ්‍ය වර්ගයා බිහි වීමෙන් අනතුරුව බැවින් කිසි විටකත් මිනිසුන්ගේ ලිංගිකත්වය ප්‍රශ්ණ කිරීමට ආගමකට අයිතියක් නොමැති බව මගේ අදහසයි..
පිරිමියෙකු කාන්තා ඇදුමක් ඇදගෙන ගියහොත් එය විහිළුවට ළක් වන කරුණක් වන අතර සම ලිංගිකයින් සමාජයේ ප්‍රසිද්ධියේ තමන් සමලිංගිකයින් යැයි පිළිගතහොත් එය අපහාසයට ළක් වන කරුණක් වේ. මේ සියල්ල ඇති වන්නේ මිනිසුන්ගේ පටු සිතීම අනුවය. තමන් සමලිංගිකයෙකු නොවීම අනෙකුත් සමලිංගිකයින්ව ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් නොවේ. එසේම පිරිමින් දෙදෙනෙකු අතර ඇති වන සම්බන්ධතාවයක් අනෙකුත් පිරිමින්ට (විශම ලිංගික) අප්‍රසන්න කාරණාවක් වන අතර ගැහැනුන් දෙදෙනෙකු අතර ඇති වන සම්බන්ධකමක් ඔවුන්ට කථා කිරීමට කැමති ලිංගික උත්තේජනයක් වන කරුණක්ද වේ. මෙය අපට සමාජයේ දක්නට ලැබෙන දෙයකි.. සමලිංගිකත්වය මානසික රෝගයක් ලෙසින් විවේචනයට ළක් වූවත් නූතයේ සමලිංගිකත්වය යනු මානසික රෝගයක් නොවන බවට සොයාගෙන ඇත. එසේම දියුණු රටවල සමලිංගික විවාහද නිත්‍යානූකූල කර ඇත.
ලංකාවේ මාධ්‍ය සමලිංගිකත්වය යන කරුණ ඉදිරියේ හැසිරෙන්නේ සමාජ විරෝධී දෙයකට විරුද්ධ වන්නන් ලෙසිනි. මෑතකදී රිවිර පුවත්පතේ ගවේශන යටතේ එක් මාධ්‍යවේදීයෙක් යැයි කියා ගත් පුද්ග‍ලයෙකු ලංකාවේ ප්‍රධාන සමලිංගික සංවිධානයක් තුළ වෙනත් නමකින් පෙනී සිටිමින් සියලු තොරතුරු එක් රැස් කරගෙන ඒවා ගවේශනාත්මක ලිපියක් ලෙසින් ලියා තිබුනි. ඔහු එම සංවිධාන‍ය තුළ සමලිංගිකයෙකු මෙන් පෙනී සිටිමින් අවසානයේ සියළු තොරතුරු සමාජයට වාර්තා කළ අතර එයින් පෙන්වා දුන්නේ සමලිංගිකයින් යනු මානසික රෝගීන් බවත් ලංකාවේ සමලිංගික මාෆියාවක් ඇති බවත්ය. ඉතා අවාසනාවන්ත ලෙස ඉන්පසුව එම සංවිධානයට ඔවුන්ගේ ක්‍රියාකාරකම් අඩාල කිරීමටත් තවත් රහස්‍ය ‍ලෙස කිරීමටත් සිදු විය..
රිවිර පුවත්පතේ ගවේශනාත්මක ලිපි යටතේ එම ලිපිය ලිවූ මාධ්‍යවේදියෙකු යැයි කියාගත් නූගත් අසංවේදී පුද්ගලයා නොදන්නා දෙයක් ඇත. එනම් සමලිංගිකයින් ‍වෙනුවෙන් පෙනී සිටි එම සංවිධානය විසින් ප්‍රධාන සමාජ රෝග පිළිබදව සමලිංගිකයින් අතරේ කරගෙන ගිය ක්‍රියාවලියයි.සමාජ රෝග පැතිරීම වැළැක්වීම සදහා සංවිධානයක් ලෙසින් ඔවුන් මෙම සමාජයට දුන් දායකත්වය අවසානයේ නූගත් මාධ්‍යවේදියෙකු අතින් ලියවුනේ ඉතාමත් පහත් ලෙසිනි. මේ අපේ මාධ්‍යයේ ඇති උගත් කම සහ නිදහසයි..
සමලිංගිකයින් යනු සමාජ විරෝධිකයින් යැයි හදුන්වනා මාධ්‍යට සැබෑ සමාජ විරෝධීන් පෙනෙන්නේ නැත. රිවිර පුවත් පතේ කතෘද ‍කශේරුකාවක් නැති නූගත් පුද්ග‍ලයෙකු බව මගේ පුද්ගලික මතයයි..
සමලිංගිකයින් මනුෂ්‍යයන් වන අතර වෙනස ඔවුන් බහුතරයකගේ තෝරා ගැනීම වන විශම ලිංගිකත්වය තෝරා නොගෙන සමාන ලිංගිකත්වය තෝරා ගැනීම පමණි. ඔවුන් සමාජයේ අයිතිවාසිකම් ලැබිය යුතු පුරවැසියන් වන අතර ගුණ ගරුක යහපත් සදාචාර සම්පන්න රජය විසින් ඔවුන් සමාජ විරෝධීන් කර ඇත. මිනිසුන් උන්ට හදා දුන් කොටු තුළ ජීවත් වීම උන්ගේ කැමත්තකි. එසේම උන් උන්ට හදා දුන් එම කොටු කඩාගෙන ඉන් පිටත තම ජීවිතය ජීවත් කරවීමට උත්සාහ දරන්නේ නම් එය උන්ගේ කැමැත්තකි. තමන්ගේ ලිංගිකත්වය තෝරා ගැනීම සමාජ විරෝධී ක්‍රියාවක් වන්නේ නැත. එය අනිත් උන්ගේ උපහාසයට ළක් විය යුතු කරුණක් වන්නේද නැත. ආදරයට ලිංගික භේදයක් නොමැති අතරම සියළු මිනිසුන්ට තෝරා ගැනීමේ නිදහස තිබිය යුතුය..
මිනිසුන් කොටු කඩාගෙන ඉන් පිටතට පැමිණීම රජයක් ‍ලෙසින් අනුමත නොකරන්නේ ඔවු‍න්ගේ පැවැත්ම පිළිබදව ඔවුන්ට ඇති අනියත බිය හේතුවෙනි.. සමලිංගිකයෙකු වීම තවදුරටත් බිය විය යුතු කරුණක් නොවන අතරම ඔවුන්ගේ නිදහස කප්පාදු කරන්නන් වෙනුවෙන් කථා කිරීමටද තව දුරටත් දෙවරක් සිතිය යුතු දෙයක් නොවේ..සමලිංගිකයින් පිළිබදව සමාජයට වැරදි මත පළ කරන්නන් ලිංගික කුහකයින් විනා වෙන කිසිවෙකුත් නොවේ.

Link http://magejointeka.blogspot.com/2012/07/blog-post_12.html

Saturday, July 18, 2015

Tom Daley and Dustin Lance - The Famous Love

Tom Daley කියන්නේ ඉතා දක්‍ෂ ඔලිම්පික් පදක්කම් ලාභී බ්‍රිතාන්‍ය කිමිදුම් ක්‍රීඩකයෙක්.ඒ වගේම ඔහු සමරිසි තරුණයෙක්.ඔහුගේ පෙම්වතා Dustin Lance Black ඇකඩමි සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්‍ෂ වරයෙක්.මේ දෙදෙනා වසර ගනනාවක සිට ඉතා සාර්ථක සබඳතාවයක් ගෙන යනවා වගේම මේ තරුණයන්  දෙදෙනා හැමෝටම හොඳ ආදර්ශයක් ලබා දෙනවා.


 
















ඒ තමයි තමන් ගේ ක්‍ෂේත්‍රවල උපරිම සාර්ථකත්වය කරා යන්න, ජීවිතය ජය ගන්න සමරිසි බව කිසිම බාධාවක් නොවෙන බව​.ඒ වගේම සමරිසි පුදගලයන් කියන්න දුර්වල ,මානසික ලෙඩුන් පිරිසක් කියා හිතා ගෙන සිටින මුග්ධයන්ටත් මේ දෙදෙනාගේ ජීවිතය​ අතුල් පහරක්.


 


තමන්ට උපතින් ලැබුණු සමරිසි බව ගැන දුක් වෙමින් නොසිට තමන් ගේ නියම ස්වරූපය ලෝකයට බියෙන් සඟවමින් වෙස් ඉමුහුණු පැළඳ සිටිමින් දුක් විඳීම අවශ්‍ය නොවන බවත් ඔවුන් නොබියව ලෝකයා හමුවේ පවසනවා.

ඔබ දෙපලට සුභ අනාගතයක්





මේ දෙදෙනා ගේ වැදගත් පණිවුඩ ඇතුලත් වීඩියෝ කිහිපයක්.









link 1 - http://www.mirror.co.uk/3am/celebrity-news/tom-daley-dustin-lance-black-5382723
link 2 - http://www.mirror.co.uk/3am/celebrity-news/tom-daley-dustin-lance-black-5382723

රෑ... By Vimukthi Chathuranga

මහ රෑ මගේ ඩයලොග් නම්බර් එකට ආව කෝල් එකක් නිසා මම ඒක එච්චර ගනන් ගත්තේ නෑ,මොකද ඒක මගේ ඔෆිස් නම්බර් එක,බොසාට උනත් එච්චරයි මම ඔෆිස් නම්බර් එකට රෑට අන්ස්වර් කරන්නේ නෑ කියලා තියෙන්නේ,ඒක රින්ග් වෙලා ඉවරුනා විතරයි මොබිටෙල් එකත් රින්ග් වෙන්න ගත්තා,ඒක රින්ග් වෙනකොට නම් මම හරි ආසයි ඉතින් කවුරු හරිම හිතවත් කෙනෙක් නෙ මගේ එ නම්බර් එකට ගන්නේ කියලා ස්ක්‍රීන් එක බලනකොට උම්බේ අකුරු දෙකේ
'නික් නේම්" එක බ්ලින්ක් වෙනවා මගේ නින්ද කොහේ ගියද නෑ ඉතින්,,එත් මම ලොකුවට පෙන්නනන්නේ නෑ නෙ කෝමත් කොච්චර ආස වුනත්,මම ගත්ත ගමන් ඇහුවේ "හෙලෝ මොකද මේ මහ රෑ කවදාවත් නැතිව කියලා"..කෝමත් උම්බ මැරි කරල ගියාට පස්සේ අපි දෙන්නම කෝල් කරන එව්ව,හොයල බලන ඒව නැවත්තුවනේ.
මමත් ඉතින් වැඩි ගානක් නැතිව අහපු ප්‍රශ්නෙට එහා පැත්තෙන් අවේ ශෝකානුකූල නිවුනු උම්බේ හඩ සමග මුසු වුනු පිලිතුරක්." නෑ මන් නිකන් ගට්ත්තේ,උම්බ අද දවසෙම හැන්ග්වුට් එකේත් ඕෆ්ලියින් නේ,නම්බර් දෙකම වැඩ කලෙත් නෑ එකයි කියල" උම්ඹ කිව්වම මම අයෙත් අතීතයට ගියා නිමේශයකට..
ඔව් මේ සතියේ සදුදා මම නිවාඩු දාලා හිටියේ උදෙන්ම ගෙදරින් ආව මල්ලි ගෙ වැඩකට. ඒකත් කරල ඌව මග බස්සලා මම හයිවේ එකට දැම්මේ කොල්ඹ එන්න ඔනෙ වුන නිසා,කෝමත් මම මම හයිවේ එනකොට මොබ්යිල් එකේ ෆලයිට් මෝඩ් දාගන්නවා ඔෆිස් නම්බර් එක කෝමත් ඕෆ් කරනව නේ අනිත් එක මට ඕක ඕන් කරගෙන එන්න තරම් කවුද ඉන්නේ මට කොල් කරන්න,මම මගේ මොබයිල් එකට ලව් කරපු කාලේ ගියාඅ,කෝල් එකක් එනකන් මැසේජ් එකක් එනකන් බලා හිටියේ ඉස්සර දැන් ඉතින් ඕක ඕෆ් වුනත් මම එච්චර වොරි වෙන්නේ නැ නේ..පස්සේ බෝඩිමට අපු ගමන් මම දැක්ක උම්බ උදේ හායි කියල තියනවා.මම ඉතින් ඒක ගනන් ගට්තේත් නෑ,ඒකයි රිප්ල්යි කරන්න නොගියෙත්,
ඒත් බැන්දලත් අවුරුද්දකටත් වැඩිය වුනාට පස්සේ උම්ඹ මොකද මගේ මොබ්යිල් එක ඕෆ් වෙච්චි එකට්යි ඔන්ලයින් නැති එක ගැනයි වද වෙන්නේ කියලා හිතන ගමන් මම කිව්වා මම අද නිවාඩු දාලා හිටියේ ඒකයි ඔන්ලයින් නැත්තේ, හයිවේ එකේ ආපු නිසා ෆෝන් එක ඕෆ් කර ගෙන ආවේ කියලා, ඒ වෙලාවෙම මම කිව්වා මම අද පැයට කිලෝමීටර් 120 කින් ආව සමහර තැන් වල මගේ ලඩියෙන් කියලා..ඒත් සුපිරි වාහන හෙමින් ආව කියලා,උම්ඹ ඒවෙලාවෙ දිග හුස්මක් අරගෙන කිව්වා ඒ ගොල්ලෝ වාහනේට ආදරේ ඇති කියලා ඒක නිසා ගානට එන්නේ කියලා,මම හයියෙන් හිනාවෙලා කිව්වා ඒ ගොල්ලෝ ජීවිතෙට ආදරේ ඇති මම නම් ඔය දෙකටම ආදරේ නෑ ඒක නිසා හයියෙන් ආව කියලා,උඹ මුකුත් නොකියා හිටියා විනාඩියක් විතර දෙන්නම මුකුත් කිව්වෙ නෑ..
පස්සේ මමම විහිලුවෙන් කියලා දැම්මා මොකද හදිස්සියේ කතා කලේ හෙට බස්නාහිරින් ඉර පායයි කියලා.කෝමත් ටිකක් සීරියස් පොරක් වන උඹ ඒකට කිව්වේ ඔව් එහෙම වේවි කියලා ..උඹගෙ හිතේ තියෙන හැම ස්වරයකම ස්පන්දනය මට එදා ඉදලම තක්කෙටම කියන්න පුලුවන් ,,උඹටත් එහෙමයි දෙන්නටම බොරු කරන්න බෑ අහු වෙනවා..ඉතින් මහා රෑ මන් උන්නද මලාද බලන්න ගට්ත එක ගැන සතුටක් වගේම පට්ටම වේදනාවක් මට දැනුනේ ,මොකද උඹව අමතක කරන එක මට ලේසි වැඩක් නේවී තාමත්.
මට පුලුවන් වුනත් මගේ හිතට ලේසි නෑ.එයා තම කැමති උඹට,එයා තාම සජෙස්ට් කරන්නේ උඹ වගේ පෙනුම,ගති ගුන තියෙන කෙනෙක්ව,ඉතින් උඹ මන් ගැන හොයනව කියලා මගේ හිත දැන ගත්තොත් මට එයාගෙන් බේරුමක් නැති වෙනව..ඒ වෙලාවට මම කොච්චර කිව්වත් මගේ දඩබ්බර හිත උඹව හොයනවා ඒක මට වදයක්..


Original Link
https://www.facebook.com/shihan.chthuranga/posts/421229138064303?comment_id=421650291355521&ref=notif&notif_t=feed_comment_reply

Tuesday, November 18, 2014

සමකෝණී ත්‍රිකෝණයක සමකාමී ආදරයක්- "ෆ්‍රැන්ජිපානි" ... By Damith Welikala

සමරිසි,සමකාමී බව පිළිබඳව ඇත්ත තියෙන සයපෙති අරලියා ගැන කතා කරන හොඳ ලිපියක් boondi.lk එකේ කියවන්න ලැබුනා.ලියලා තියෙන්නේ දමිත් වැලිකල​
මේ එහි උපුටා ගැනීමක්.

 සමකෝණී ත්‍රිකෝණයක සමකාමී ආදරයක්- "ෆ්‍රැන්ජිපානි" ...දමිත් වැලිකල​









ඔහු නමින් චමත් ය. එහෙත් ඈ ආදරයට ඔහු ඇමතුවේ බස්සා යන සුරතල් නාමයෙනි. ඈ සරසි හෙවත් ඉස්සි ය. ඉස්සීගේත් බස්සාගේත් ආදරය අතරට පැමිණෙන කඩවසම් ආගන්තුකයා නලීන් ය. චමත් සහ නලීන් කෙමෙන් මෝරා වැඩෙන මිතුදම විනිවිදිමින් ලාලසාත්මක සමකාමී ප්‍රේමයකින් වෙළෙති. ඒ අතරම ඔවුන් සරසිගේ ආදරය කේන්ද්‍ර කරගනිමින් භ්‍රමණය වන ප්‍රේමවන්තයන් දෙදෙනෙකු ද වේ. කාලයාගේ ඈවෑමෙන් නලීන් හා සරසි යුග දිවියට එළැඹෙති. හුදෙකලා වන බස්සා ස්වකීය ජීවිතාභිලාෂය සොයා උඩුගම් බලා පිහිනන්නෙකු බවට පත්වේ. අනේකවිධ හැලහැප්පීම් කම්කටොළු මැදින් ඔවුන්ගේ තුන්කොන් ආදරය ගලා යයි. එහෙත් මේ ආදර කතාව සුඛාන්තවත්ය. දිගු වන්දනා ගමනක අවසානයේ තිදෙනාම‍ නැවතත් මුලින් සිටි තැන්වලමය. මේ වූ කලී ෆ්‍රැන්ජිපානි කතා වස්තුවයි.

සාම්ප්‍රදායික ත්‍රිකෝණගත ප්‍රේමාන්දරයකින් ෆ්‍රැන්ජිපානි වෙනස් වන්නේ එහි මූලික ධාරණාව එක්තරා සුවිශේෂී වූ මානුෂීය සාරයක් කැටි කරගන්නා බැවිනි. සමකාමීත්වය හා සමකාමී ආදරය මූලික වශයෙන් ‍ෆ්‍රැන්ජිපානි තුළ දෝලනය වන්නා වූ වස්තු විෂයන් ලෙස දැකිය හැකිය. සමකාමීත්වය සමලිංගිකත්වය ලෙස ප්‍රනිශ්චය වී තිබීම මහා සංස්කෘතික ආප්තයන්ගේ එක්තරා වැරදි පූර්වාදර්ශයකි. සමකාමී ආදර සම්බන්ධයක් අශ්ශීල, ජුගුප්සාජනක මානසික විකෘතියක් ලෙස විග්‍රහ කරනු ලබන්නේ ද යට කී මහා ‘ශුද්ධ’ සංස්කෘතිය විසින් අධිනිශ්චය කරනු ලැබූ ප්‍රකෘති යැයි අප හඟින මානව චර්යාවන්ගේ නිර්නායකයන්ට එය අනුකූල නොවන හෙයිනි. සමකාමීත්වය සපුරාම අනිච්ඡානුගත මනෝභාවයක් වන අතර එය මානවීයත්වයේම එක්තරා සුවිශේෂී දිගුවක් ලෙස අවබෝධ කරගැනීම මෙවැනි කතා සන්දර්භයකට පිවිසීම සඳහා වඩා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයක් අපට සපයයි.


"මේ චිත්‍රපටයෙන් කියැවෙන දේ ගැන කවුරු හරි මගෙන් ඇහුවොත් මම කියන්නෙ මේක ‘ආදරය සහ ප්‍රජාතන්ත්‍රවාදය’ ගැන කතාවක් කියල." ඒ චිත්‍රපටයේ අධ්‍යක්ෂ විසාකේස චන්ද්‍රසේකරම්ගේ හඬය.

සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතරයේ කැමැත්ත ලෙස නිගමනය කිරීමම එක්තරා අතකට ප්‍රජාතන්ත්‍ර විරෝධී අර්ථකථනයකි. බහුතරයේ කැමැත්ත මත සියල්ල තීරණය වන සමාජයක සුළුතරයේ අභිලාෂයන් මහා ප්‍රවාහයේ සෙවණැල්ල තුළ සැඟවී යාම සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් විසින් අනුදක්නා යුතු තත්වයක් නොවේ. අනෙක් අතට, බහුතරයේ ස්වභාවික කැමැත්ත ලෙස ප්‍රනිශ්චය වී ඇති සංස්කෘතික භාවිතාවන් තුළ සුළුතරයේ ඊට සාපේක්ෂව ‘වෙනස්’ අභිලාෂයන් අසංස්කෘතිකවත් හෝ අශ්ශීලත්වයන් ලෙසට නිර්වචනය වීම ද සැබෑ ප්‍රජාත්න්ත්‍රවාදී සමාජයක් විසින් ප්‍රශ්න කළ යුතු තත්වයකි. සුළුතරයක් විසින් බහුතරයට වඩා වෙනස් මතයක් නියෝජනය කළ පමණින් ඔවුන් හැම විටම බහුතර අනෙකා යටතේ පීඩිත ප්‍රජාවක් බවට පත්වීමේ තත්වය සාම්ප්‍රදායික අර්ථරාමු තුළ අවිඥානිකවම පිළිගැනෙන තත්වයකි. එමෙන්ම බහුතර කැමැත්ත තුළ ඔවුන්ගේ ආධ්‍යාශයන් දිය කර හැරීමට සිදුවන්නේ නම් හෝ සමාජමය වශයෙන් හුදෙකලාභාවයකට පත්වීමට ඔවුන්ට සිදුවේ නම් එතැන සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් හෝ සමාජ සාධාරණත්වයක් පැවතිය නොහැක. නියම ප්‍රජාතන්ත්‍රවාදය යනු සුළුතර අයිතිවාසිකම් කඩනොවන පරිදි බහුතර කැමැත්තට ඉඩ දීමේ ‘කලාවකි’. ‍එහෙත් ලංකාව වැනි දුර්වල දේශපාලන සංස්කෘතියක් ඇති රටක සුළුතර අයිතිවාසිකම් පිළිබඳ කතා කිරීමම අතුරේ යෑමක් වැනි වැඩකි. එවැනි සන්දර්භයක් තුළ සමකාමී අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම යනු දැලි පිහියෙන් කිරි කන අතරේ අතුරේ යෑමක් තරම් මාරාන්තික වූවකි. එහෙත් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් කලාව විසින් ඇති කළ යුතු කතිකාව කොතැනින් හෝ ඇරඹිය යුතුව ඇත. ෆ්‍රැන්ජිපානි ඔස්සේ සිනමාකරු නියැළෙන්නේද එවැනි වූ ප්‍රජාතන්ත්‍රවාදී කලාවක් උදෙසා සාමූහික චින්තනය පුළුල් කිරීමේ වෑයමකය.







නලින්ගේ ආගමනයෙන් වෙනස් වන්නා බවට පත්වන්නේ චමත්ය. එතෙක් ඔහුගේ චරිතාභ්‍යන්තරය තුළ සැඟව තිබූ ඇතැම් ගූඪ චිත්තයන්ට සැබෑ අර්ථයක් සැපයෙන්නේ නලීන්ගේ පැමිණීමත් සමඟය. නිය ආලේපන ගැල්වීමෙන් ඔහු ලබන ප්‍රමෝදයේ සිට සමකාමීන් වෙනුවෙන් පෙනී සිටීම දක්වා වූ චමත්ගේ චරිතයේ අතීත සංසිද්ධීන් නලීන්ගේ පැමිණීමෙන් පසු වඩාත් අර්ථවත් වන්නට පටන් ගනී. සරසි හා චමත්ගේ ප්‍රේමය ද දෙදරා යන අතර නලීන්ගේ ඇසුරෙන් පසු චමත් ඍජුවම සමකාමියකු බවට රූපාන්තරණය වෙයි. සරසිට හිමි වන්නට තිබූ ඔහුගේ ආදරය ඉඳුරාම නලීන් වෙනුවෙන් පුද කරන්නට චමත් පෙළැඹේ. ආපසු ගම්රට බලා යන්නට බසයට ගොඩවන මොහොතේ චමත් නලීන්ගේ කණට කොඳුරන්නේ ආදරණීය තරවටුවකි. ‍

"මාව අමතක කරොත් මං උඹව මරනවා"

සමකාමීත්වයට ලාංකේය සමාජසංස්කෘතික ප්‍රවාහයන් වෙතින් එල්ල වන උග්‍රතර ප්‍රතිවිරෝධය සූක්ෂම ලෙස ඉස්මතු කරන්නට සිනමාකරු සමත් වෙයි. චමත්ගේ පෙරළිය මානසික විකෘතියක් ලෙස වටහා ගන්නා පවුලේ උදවිය තොවිල්පවිල් ආදිය මඟින් පවා ඔහුගේ ‘විකෘතිය’ මැඩ පවත්වන්නට ගනු ලබන වෑයම උපහාසාත්මක ලෙස ඉස්මතු කෙරෙයි. චමත්ගේ ජීවන ආධ්‍යාශය උපේක්ෂාවෙන් යුතුව වටහා ගන්නේ ඔහුගේ මව පමණකි. චමත් නිසා ඇති වූ නින්දාව හේතුවෙන් සංතාපයටත් කෝපයටත් පත් වැඩිමහලු සොයුරා ඔහුට පහර දෙන්නට වූ විට මව චමත් බේරා ගන්නේ ඔහු මිනීමරුවෙකු හෝ ත්‍රස්තවාදියෙකු නොවන බව කියමිනි. භික්ෂුවක වන චමත්ගේ අනෙක් සොහොයුරා ද ඔහුගේ ජීවන ගමන්මඟ පිළිබඳ මනා ලෙස අවබෝධ කර ගත්තෙකු සේ නිරූපිතය. සමාජ අපවාදයෙන් මුදවනු පිණිස චමත් නගරයට ඇරලවනු ලබන්නේ ද සොයුරු භික්ෂුව විසිනි.

නලින්-සරසි විවාහයෙන් පසු හුදෙකලාවන චමත් සමකාමියෙකු ලෙස ස්වකීය ජීවිතය ගත කිරීමට ගන්නා උත්සහය හා ඒ තුළ ඔහු මුහුණ පාන්නා වූ අනේකවිධ ගැහැටකම්කටොළු සංවේදනාත්මක සිනමා රූප පෙළක් ලෙසින් අප ඉදිරියේ දිග හැරෙන්නට සලස්වනු ලැබේ. සංස්කෘතික විනිශ්චයන්ගෙන් හා බන්ධනයන්ගෙන් ඔද්දල්ව මහා සමාජයෙන් පළා යන චමත් සමකාමී සමාජය විසින් සාදරයෙන් පිළිගනු ලබයි. ඔහු සිය ජීවිතේ අර්ථය අවබෝධ කරගනු ලබන්නේ එතැනින් පසුවය.

නලීන් සමකාමියෙකු වුවත් ඔහුගේ අභිලාෂයන් තරමක වෙනස් හැඩහුරුකමක් ගනී. ස්වකීය හැඟීම් එළිදරවු වනවාට ඔහු අකමැතිය. ඔහුට අවශ්‍ය වන්නේ සාමාන්‍ය මිනිසෙකු ලෙස ජීවත් වීමටය. චමත්ගේ සමකාමී ආදරය ද මඟහරිමින් සරසි හා විවාහ වන්නේ ඔහුගේ පුද්ගල අභිලාෂයන් ඒ ඔස්සේ මුදුන් පමුණුවා ගැනීමේ අරමුණ ඇතිවය. එහෙත් විවාහයෙන් ටික කලකට පසු නලීන් චමත් සොයා නගරයට පැමිණෙන්නට වන අතර ඔවුහු යළිත් සුපුරුදු සමකාමී කායික ප්‍රේමයෙන් බැ‍ඳෙති. මෙකී සිද්ධි දාමය හා සසඳන විට The Falls: Testament of Love සිනමා කෘතිය සහ ෆ්‍රැන්ජිපානි අතර කිසියම් දූරස්ථ වූ සමානකමක් පෙනී යා හැකිය. එහි හමුවන ක්‍රිස් සහ ආර්ජේ ෆ්‍රැන්ජිපානි හි නලීන්, චමත් මෙන් සමාන්තර තත්වයන්ගෙන් ගොඩනැංවී ඇති චරිත යුගයලකි.







ලංකාවේ සමලිංගික චර්යාවන්ට අදාළව පවත්නා නීතිමය අඩුලුහුඬතාවන් ද සිනමා කෘතිය ඔස්සේ පෙනෙන්නට සලස්වා ඇත්තේ එවැනි සිද්ධියක් මූලික කරගනිමින් නලීන් සිරභාරයට පත්වීම හා බැඳුනු සිදුවීම් දාමය තුළිනි. නලීන් නෛතික දණ්ඩනයෙන් නිදහස් වුවත් ඒ කරණ කොට ගෙන ඔහුගේ විවාහ සංස්ථාව බිඳී යන්නට පටන් ගනී. සමාජ අපවාදයට ද ලක්වේ. මෙය වූකලී, සමකාමීත්වය සම්බන්ධයෙන් නීතියට වඩා සමාජ සංස්කෘතික සම්මතයන්ගේ තීව්‍රතර භාවය බලපවත්වන බව පෙන්වන අවස්ථාවක් සේ සැලකිය හැකිය.


ෆ්‍රැන්ජිපානි තුළ තේමාත්මක සංකේතය වන්නේ සය පෙති අරලියා මල පිළිබඳ රූපකයයි.

"මේ අරලියා මලට පෙති හයයි. කොහොමද එහෙම වෙන්නෙ? අරලියා මලට පෙති පහයිනෙ"

"පෙති හයේ අරලියා මලුත් තියනව"


සමකාමීත්වය පොදු මානව ධර්මතාවයන්ගෙන් වෙසෙසි වූ, එහෙත් එය නොඉක්මවන තත්වයක් බව සිනමාකරුවා අප හමුවට ගෙනෙන්නේ එවැනි සෞන්දර්යාත්මක රූපකාර්ථවත් ඉඟියකිනි. සය පෙති කුසුමක් වුව එයද එකසේ සුවඳැති අරලියා මලකි. අරලියා මල හැම විටම අරලියා මලක් වීමම මිස මල් පෙත්තක වෙනස හුවා දැක්වීමේ අරුත කුමක්ද?

සමකාමී අයිතීන් කලාව ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවන් තුළට ගෙන ඒමේ ප්‍රවණතාව අද වන විට ලෝක මට්ටමෙන් දක්නට ලැබෙන තත්වයකි. එහෙත් ලංකාවේ පවතින තත්වය හමුවේ මෙවැනි සිනමා කෘති සම්බන්ධයෙන් ඇතිවිය හැකි තත්වය බොහෝවිට කණගාටුදායක විය හැකිය. එසේ වුවද ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් කලා භාවිතාවන් ප්‍රවණතාත්මකව වර්ධනය කිරීමත් ඒ වෙනුවෙන් පෙනී සිටීමත් අද දවසේ කලාව වෙනුවෙන් පෙළගැසෙන්නන් විසින් අත්‍යවශ්‍යයෙන්ම කළ යුත්තක් බව අවධාරණය කළ යුතුමය.

Monday, April 14, 2014

කිරාංචි Kiranchi By ඉසුරු චාමර සෝමවීර.




කිරාංචි   Kiranchi




හැම දේම සුදු පාටයි. බිත්ති, සිවිලිම, කොටිටෙ, ඇඳ රෙද්ද මේ හැම දෙයක්ම සුදු පාටයි. ඇඳ ළඟ ටීපෝ එක උඩ වතුර වීදුරුවක් සුදු පාට පීරිසියකින් වහලා. හැම දෙයක්ම විකාර විදියට පිරිසිදුයි, පිළිවෙලයි. සුදු පාට ජනෙල් රෙද්ද ජනේලෙන් එහා දේවල් මගෙ ඇස් වලින් හංගනවා. කාලයක් මං සුදු පාටට හිස් නිදහස් ඉඩට හුඟක් ආසා වෙලා හිටියා.

මගෙ කාමරේ කැලැන්ඩරයක්වත් එල්ලන්න මං කැමති වුණේ නැහැ. ඒත් දැන් සුදු පාට හිස් ඉඩ මට මහ වෙහෙසක් ගේනවා. ඔළුව ඇතුලෙ එක එක සද්ද මහ ගොඩක් දෝංකාර දෙනවා වගේ දැනෙනවා. ඒක වචනෙට ගන්න බැරි වේදනාවක්. උදේ මගෙ බෙහෙත් වේල ගත්තත් උණ අඩුවෙලා තිබුණෙ නැහැ. මගෙ කට ඇතුළෙ මැළියම් තට්ටුවක් බැඳිලා, කට තිත්තම තිත්තයි. නින්දත් නොනින්දත් අතරෙ පේන විකාර ඔළුවෙ බර ගතිය වැඩි කරනවා . මට අඬන්න ඕනෙ. කෑ ගහන්න ඕනෙ. මේ ජරා උණ වසංගතෙන් මාව මැරිලා යයි කියලා ලොකු බයක් හිතට එනවා. ඔක්කොටම වැඩිය දරන්න බැරි ඔළුව ඇතුළෙන් එන වේදනාව.

ඒක දූපතක්. මම හිතන්නෙ කිරංචි වල සිවපුරව් වෙරළට පේන දූපත. හීනෙ වටිටක්කා, වම්බටු, පතෝල, මෑ වැවිච්ච සාරවත් වගාවක් තිබුණා කියන්න මට හොඳටම මතකයි. තද කොළ පාට විසාල වටිටක්කා කොළ එක යායට හුළඟට පැද්දුනා. ඒවයෙ පිණි බිංඳු ඉර එළියට දිලිසුනා. දම් පාට ලොකු වම්බටු ගෙඩි වල කොළ පාට හීන් පනුවො ඇවිද්දා. කහපාට වට්ටක්කා මල් අතරෙ මී මැස්සො පියෑඹුවා. මමයි කෝපරල් සමන් කුමාරයි බොලොක් ගල් වලින් බැඳපු, කපරාරු නොකරපු පොඩි ගෙයක් ඉස්සරහපිට ඉඳන් අපේ වගාව දිහා බලන් හිටියා. අපේ ඇස් දිලිසුනා. කෝපරල් සමන් කුමාරගෙ මුණෙ තිබුණෙ මහ වල් දඩයක්කාර හිනාවක්. මගෙ මූණෙත් ලොකු හිනාවක් තිබුණා. කෝපරල් සමන් කුමාර ජින්නා, මම උපාලි ගිනි වැල්ල. ඒක වචන වලින් කතා නොකලට හීනෙ අපි දෙන්නා උපාලියි ජින්නයි කියලා මට දැනුනා. පොඩි ළමයි වගේ නෙමේ මේ දැන් ඉන්න විදියටමයි අපි හීනෙ හිටියෙ. අපි දෙන්නගෙම මූණු වල ලාවට රැුවුල් කොට වැවිලා තිබුණා. අපේ ගෙදර බැල්ලි බ්ලැකී හෙළවෙන වට්ටක්කා කොළ ගොල්ලක් දිහාවට බුරමින් හිටියා. සමන්ගෙ ඇස් හීන් වුණා.

"ඉත්තෑවෙක්, ඕකුං අපේ වගා කාබාසිනියා කරනවා."

සමන් මගෙ කන ළඟට එයාගෙ ලොකු තොල් තියලා මිමිණුවා. සමන් තුවක්කුව ඇහැ ළඟට තියලා, ඇහැ හීන් කරලා කුරුමානම් ඇල්ලුවා. ඉත්තෑවෙක් නෙමේ හාවෙක්. ලොකු වට්ටක්කා කොළ උඩ ලේ බිංදු ඉහිලා. සමන් දඩයං දත් පේන විදියට ලොකුවට හිනා වුනා. මමත් හිනා වෙවී හිටියා කියන්න මට මතකයි. සෑහෙන්න විසාල අඳුරු පාට හාවෙක්. ඊට පස්සෙ හීනෙ කොටසක් අපැහැදිලියි.

ඊළඟට අපි හිටියෙ වෙරළක. ඈතින් හඳ එළියෙ මුහුද සන්සුන් විදියට නැළවුණා. අපි දෙන්නා එක ළඟින් වැතිරිලා හිටියා. තරමක ගිනි මැලයක් අපි ඉස්සරහ පට පට ගගා ඇවිලුනා. මං හිටියෙ රොබින්සන් කෲසෝගෙ කතාව සමන්ට කියලා දෙමින්. මගෙ රොබින්සන් කෲසෝ කතාවෙ රයිඩේ හුඟක් කඩවසම් මිනිහෙක්. රොබින්සන් කෲසෝයි රයිඩෙයි ජීවිත කාලෙම දූපතේ ඉන්න තීරණය කරනවා. මොකද දෙන්නට ඕනෙ විදියට ජීවත් වෙන්න ලෝකෙ කිසිම තැනක ඉඩක් නැහැ. දෙන්නා මිලේචිඡයොත් එක්ක සටන් කරනවා. කොටින්ම රයිඩේ තමන්ගෙ නෑයන්ව මරනවා රොබින්සන් කෲසෝ වෙනුවෙන්. කෲසෝ තමන්ගෙ රටට අයිති නැව් දකිනකොට හැංගෙනවා. එයාලා වවනවා, එකට පීනනවා, දඩයම් කරනවා, සද්දෙට පිරිමි හඩින් හිනා වෙනවා. සමන් මගෙ ඇස් වලට එබිලා බලනවා. ඇස් තෙතයි, දිලිසෙනවා. එයාගෙ ඇඟ හරිම උණුසුම්. ලාවට රස්නයක් තියන වෙරළෙ වැලි තලාව උඩ අපි පෙරලෙනවා. සමන්ගෙ කොණ්ඩෙ තැවරිච්චි වැලි මම පිහදාන කොට සමන්ගෙ ඇස් වලට බැරෑරුම් පෙනුමක් එනවා. අපිට තව කී දවසක් මේ විදියට මේ දූපතේ ඉන්න ලැබෙයිද? අපේ උන් කොයි වෙලේ මේකට කඩාපාත් වෙයිද දන්නෙ නෑ. මම පාත් වෙලා සමන්ගෙ නළල ඉඹිනවා. එතකොට එයාගෙ ඇස් හීන් වෙනවා. එයා බිබී හිටපු සිගරට් එක සමන් මට දෙනවා. අපි උඩ බලාගෙන මාරුවෙන් මාරුවට සිගරට් එක උරනවා .

"අරක ඔරායන්, අර පේලියට තියන තරු තුන, ඔරායන්ගෙ බෙල්ට් එක."

සමන් මගෙ අත දිගේ තරු බලන ගමන් එක අතකින් මාව අත ගානවා. මාව ගිනියං වේගෙන එනවා.

"හපෝ තමුසෙ දන්න දේවල්, තරුයි , මාළුයි, ඉංගීරසියි, දෙමළයි, හැම කෙහෙල්මල දන්නවා"

මටයි සමන්ටයි දෙන්නට හිනා යන්නෙ එකටමයි.
"මං වෙඩි තියන්න දන්නෙ නෑ, වගා කරන්න දන්නෙ නෑ" මම කියනවා.

"ඇයි මම උපාලි ගිනිවැල්ලෙ නොවී ජින්නා වුණේ ?"
සමන් එක පාරටම ඇහුවම මම අනිත් පැත්ත හැරිලා. සමන්ව තදින් බදා ගත්තත්, සමන් මාව තල්ලු කරනවා.

"තොපි ඔක්කොම එකයි, තෝත් මාව රවට්ටනවා. කියපිය තෝත් මාව රවට්ටනවා නේද?"

සමන්ගෙ දඩයං දත දිලිසෙනවා. මමත් සමන්ව තල්ලු කරනවා.
"උඔලා තමා රවට්ටන්නෙ, මට හැමදාම වුණේ රැවටෙන්න,"

අම්මා විනාකිරි පොඟොපු රෙදි කෑල්ලක් මගෙ නළලෙ එලනවා. රෙදි කෑල්ල සීතලයි.

"කැඳ ටිකක් ගේන්නද?"

"එපා, බොන්න බෑ, කට අප්පිරියයි"

"සැරට ලුණුමිරිසක් හදල පාන් කෑල්ලක් කමු, දැන් තියෙන්නෙ අසත්තිය. දවස් හතරකින් ඇඟට හරි හමන් කෑමක් වැටුණෙම නෑනෙ"

"කන්න බෑ, කට තිත්තයි අප්පිරියයි"

"එහෙම කියලා හරියන්නෙ නෑනෙ, එහෙනං ආයෙ හවසට දොස්තර මහත්තයා ගාවට යමු"

මම මුකුත් නොකියා රෙද්දෙන් මුණ වහ ගන්නවා. එතකොට අඳුරුයි. ආලෝකෙට දෙන්න බැරි සුවයක් පහසුවක් අන්දකාරෙ මට දෙනවා. අන්දකාරෙ ඇතුළෙදි කිසිම දෙයක් සුවිශේෂ නැහැ. කිසිම දෙයක් කැපිලා පේන්නෙ නැහැ. කිසිම දෙයක් දිහා බලන්න කියලා අපේ ඇස් අපිට බල කරන්නෙ නැහැ. ආලෝකෙ අරන් එන්නෙ නැති සිසිලක් පහසුවක් අන්දකාරෙ ගේනවා. රෙද්දෙන් ඔළුව වහ ගත්තම මට අම්මව පේන්නෙ නෑ. ඒත් එයා එතන ඉන්නවා කියලා මට තේරෙනවා. ටිකකින් එයා යනවා මට ඇහෙනවා. ආයෙමත් එළියට නිරාවරණය වෙන්න මට ඕනෙ නැහැ. මම රෙද්ද ඇතුළෙ ගුලි වෙනවා. ඔළුව එකම විදියට තියාගත්තම පහසුයි. එහාට මෙහාට හැරෙනකොට මගෙ සමතුලිතතාවෙ බිඳිලා ගිහිල්ලා විසාල රපාතෙකට ඇදගෙන වැටෙනවා වගේ බයක් වේදනාවක් හිතට එනවා. නොහෙල්ලී මං අන්දකාරෙට ඇහුන්කන් දෙනවා.

මං යශෝධරන්ගෙ ගෙදරට ගියෙ තිලිත් එක්ක. තිලීබන් කියන නම කෙටි කරලා අපි හැමෝම එයාට කිව්වෙ තිලී කියලා. මම කිරාංචි ආව පළවෙනි වතාව. පාර අපි කිරාංචි ගියෙ මන්නාරාමෙන් විඩතලදිව් පහු කරලා වෙල්ලන්කුලම් වලින් හැරිලා මුලන්කාවිල් හරහා. කිරාංචි වල විසාල වගුරු බිම හරහා යද්දි මට මොකද්දො මහ අමුත්තක් දැණුනා. ඒක අහසට නිරාවරණය වෙච්ච මහ විසාල තැනිතලාවක්. මහා වගුර වේලිලා තිබුණෙ. වතුර ඉතුරු වෙලා තිබුණු තැන් තැන් වල එක එක වර්ග වල කොක්කු මාළු අල්ලමින් හිටියා. මට වගුරෙ පිංතූර ටිකක් ගන්න ඕන වුණත් කටිටිය චුරු චුරු ගාන්න පටන් ගත්තා. හැමෝටම ඕන වුණේ වැඩ ටික ඉක්මනට ඉක්මනට ඉවර කරලා කරුවල වැටෙන්න කලින් මන්නාරමේ අපි නතර වෙලා හිටපු හෝටලේට යන එක. යුද්දෙ ඉවරයි කිව්වට පහුගිය දවස් ටිකේ එහෙ මෙහෙ ගිය ටිකට අපිට දැනේනන පටන් අරන් තිබුණා අපි මේ කරක් ගහන්නේ වෙනම ලෝකෙක කියලා.

කිරංචි සිවපුරම් වල අපි මුලින්ම ගිය ගෙදර රෝස පාට පතුරු ගිය තනි බිත්තියකට පොල් අතු යාලත්තක් බාලා හදපු පොඩි පැලක. මිදුලෙ තුලාසි පඳුරක් වවලා. පැත්තක සමන් පිචිච පැලේ පීදිලා කියලා, හොඳට අතුගාපු මිදුලට ඇතුල් වෙනකොටම එන සුවඳින් දැණුනා. තිලී ඉස්සර වුණා වීඩුකාරෙංග? උච්චාරණේ හරි නැති වුණාට තිලී ඉන්දෙද්දිත් මම එහෙන් මෙහෙන් වැරදි දෙමළ කියෙව්වා. ගෙදර හිටියෙ කහ පාටට හුරු තැඹිලි පාට කිළුටු සාරියක් ඇඳ ගත්ත අම්මා කෙනෙකුයි, උස හීන්දෑරි කෙල්ලෙකුයි.

"අපි ....... විශ්ව විද්යාලෙන්, කිරාංචි කලපුවෙයි, වගුරු බිමෙයි, ඉන්න මාළු වර්ග ගැන පරීක්ෂණ වගයක් කරන්නයි යන්නෙ, වැඩේට අපිට ඔයාලගෙ උදව් ඕනා. අවුරුදු ගානකින් මේ පැත්තෙ ඉන්න මාළු ගැන කව්රුවත් පරීක්ෂණ කරලා නෑ. අපි විශේෂයෙන්ම හොයන්න බලාපොරොත්තු වෙන කාරණා දෙකක් තියනවා. එකක් තමා කලපු වතුරෙ මේ පැත්තට ආවේනික දැල්ලන් විශේෂ මොනවද කියන එක, අනික කිරංචි කලපුවෙ මාළුන්ගෙ ඇඟේ තියන රස දිය රමාණ මනින එක. මේක අවුරුද්දක් විතර යන විශේෂ ව්යාපෘතියක්."

තිලී ලොකු ලස්සන හිනාවක් එක්ක දෙමලෙන් කියා ගෙන කියා ගෙන යනකොට අර අම්මයි, හීන්දෑරි කෙල්ලයි හිස් බැල්මකින් අපි දිහා බලන් හිටියා .

මුණු හිස්. ඒවයෙ සතුටක්වත්, වේදනාවක්වත්, අඩුම තරමෙ කිසිම දෙයක්වත් ඇඳිලා තිබුණෙ නැහැ. මිදුලෙ මල් හිටවන්න ඇත්තෙ දෙන්නා නෙමේ වෙන්න ඇති කියලා මගෙ හිත මට කිව්වා. යාපනෙන් ආපු තිලීගෙ මුණෙ මොට්ට පාට හිනාවක් ඇඳිලා තිබුණා. ඊළඟට කරන්නෙ මොකක් කියලා හිතා ගන්න බැරුව අපි මෝඩ විදියට හිටගෙන හිටියා.

"යං මහත්තයා" තිලී මගෙ කනට කෙඳිරුවා.

අම්මගෙ ඇස් වලින් එක පාරටම මොකක්දෝ තෙතක් දිස්නයක් කාන්දු වෙන්න ගත්තා. හැමදෙයක්ම හරි ඉක්මණට වුණේ. අම්මගෙ මූණෙ මහ විසාල හිනාවක් ඇඳුණා.

"යශෝ, යශෝ , එල්ලුඩය මගන්"
කෙල්ලගෙ ඇස් ලොකු වුණා. ඒකි තදින් අම්මගෙ අත අල්ල ගත්තා.

"අම්මා, අවන් යශෝ ඉල්ෙලෙ" ඒකි කෙඳිරුවා.

අම්මා එකපාරටම ඇවිත් මගෙ අතක් එයාගෙ අත් දෙකෙන්ම තද කරල අල්ල ගත්තා. මට වෙන්නෙ මොකක්ද කියලා හරියටම තේරුණේ නැතත්, මොකක් හරි මෝඩ චිතරපටියක රඟපාමින් ඉන්නවා වගේ දැණුනා. තිලී පැනලා අම්මගෙ අත ගලවන්න හැදුවත්, තැඹිලි සාරි අම්මා මාව හිර කරලා අල්ලගෙනයි හිටියෙ. කෙට්ටු කෙල්ල හුස්ම අල්ල අල්ල මොනවදෝ වේගෙන් කියෙව්වා. ඒක යාතිකාවක් වාගේ . එහෙන් මෙහෙන් වචනයක් දෙකක් තේරුණත්, ඒකි වේගෙන් කියෝගෙන කියෝගෙන ගිය නිසා මට කිසිම දෙයක් හරියට තේරුණේ නැහැ. තිලී මට ඒකිව පරිවර්තනය කලා. යශෝ එයාගෙ අයියලු. එයා අතුරුදහන් වෙලාලු. තාත්තත් මැරිලලු.

"මැරිලද, මරලද?" මම ඇහුවා.

ඒක අහන්න ඕන නැති තරම් මෝඩ රශ්නයක් කියලා මට තේරුණේ තිලී මං දිහා බලපු බැල්මෙන්. යශෝ කොයි වෙලේ හරි එයි කියලා මේ අම්මයි, දුවයි බලන් ඉන්නවා. අම්මගෙ ඔළුව ටිකක් හොඳ මදිලු. එයා දකින දකින කෙනාට යශෝ කියලා කතා කරනවලු. මේ කෙල්ල හිතනවලු යශෝ පණ පිටින් නැතුව ඇති කියලා මොකද එහෙම ඉන්නවා නම් ඇයි තාම නාවෙ කියලා එයා අහනවා? "වෙන රටක හරි, කඳවුරක හරි ඉන්නවා නමි ?" මං ඇහුවා. කෙල්ල ඒකිගෙ දුඹුරු පාට ගැහිචිච දත් පෙන්නලා ඔළුව වනලා හිනා වුණා.. "ඔයා මොනවද දන්නෙ අපි ගැන" වගේ දෙයක් හිනාව ඇතුළෙ තියෙන්න ඇති. එතකොටයි මම දැක්කෙ ඒකිගෙ කකුල්.

වළලුකරෙන් උඩ කොටස පිච්චිලා. හම ඇකිලිලා. ඒක වුණෙ කොහොමද කියලා අහන්න හදලත් මං රශ්නෙ ගිල්ලා. යශෝගෙ අම්මගෙ ඇස් වල සුද බැඳීගෙන එනවා. ඒත් සුද පහු කරගෙන මොකක්දෝ තෙත කාන්තියකින් ඇස් දිලිසෙනවා. කෙල්ල අපිට ගෙට කතා කලා. මුළු ගෙදරම තිබුණු ප්ලාස්ටික් පුටු දෙකේ මමයි, තිලියි වාඩි වුණා. අනිත් කටිටිය කැමැත්තෙන්ම එළියෙ නතර වුණා. ලොකු ඇලුමිනියම් මුට්ටි දෙකකුයි, මදුරු දැලකුයි එක මුල්ලක තිබුණා. තවම පැකින් වත් කඩලා නැති මොකකදෝ උස දෙයක් බිත්තියකට හේත්තු කරලා තිබුණා. ඉන්දියන් රජයේ පරිත්යාගයක් කියලා බාසා තුනෙන්ම පාර්සලේ ගහලා. පුල්ලෙයාර් රූපයක් රෝස පාටට තීන්ත පතුරු යන බිත්තියෙ එල්ලුනා. සුදුපාට ප්ලාස්ටික් මල් මාලයක් දාලා තිබිච්ච පිංතූරෙ හිටිය මනුස්සය මේ කියන යශෝධරන්ගෙ තාත්තා වෙන්න ඇති කියලා මම අනුමාන කලා.

අපුරුම දේ තිබුණෙ රෝස පාටට පතුරු යන බිත්තියෙ පැස්ටල් වලින් ඇඳලා. ඒක බිත්තිය පිරෙන්න ඇඳපු දැවැන්ත චිතරයක්. ඒකෙ හිටියෙ යෝධ ගිරව් දෙන්නෙක් මූණෙන් මුණ බලාගෙන. උන් වහලා හිටියෙ මල් වලින් බර වෙච්ච අත්තක. ගිරව් හරියට මැකෝ ගිරව් වගෙ. උන්ගෙ පිහාටු හැම පාටකින්ම පාට කරලා. අම්මා වෙනකොටත් මගෙ අත අතඇරලා තිබුණෙ නෑ. හරියට මම එයාව අත ඇරලා දුවයි වගේ. "ඕක ඇන්ඳෙ අපේ නිලාමදි" අම්මා දෙමළෙන් කිව්වා. කෙල්ලගෙ නම නිලාමදි.

නිලාමදි, අපිට කෝපි හදාගෙන ආවා. කෝපි එකෙන් කොත්තමල්ලි රසකුත් එනවා. ඒක නිසා කෝපි බොනකොට මොකක්දෝ අමුතු සිසිලක් දැනෙනවා. කෝපි කොටන කොට කොත්තමල්ලිත් දාලා කොටනවා ඇති කියලා හිතුවත් මං ඒක අහන්න ගියෙ නෑ. එතන හැදිලා තිබිච්ච නිස්සද්දතාව හරි ඝනකම්. එළියෙ ඉන්න අයට කෝපි දෙන්න කෝප්ප මදි නිසා නිලාමදි, මමයි තිලීයි බීලා ඉවර වෙනකන් බලන් හිටියා. ඒත් එළියෙ හිටිය හතර දෙනාගෙන් තුන් දෙනෙක්ම මේ ගෙවල් වලින් වතුරවත් බොන්නෙ නැති බව මං දැනං හිටියා. "ඔයාද මේ චිත්රෙ ඇන්දෙ? හරි ලස්සනයිනෙ" මම දෙමලෙන් ඇහුවම කෙල්ලගෙ ඇස් දිලිසුනා.

"මම තමා ඇන්දෙ, මේ යශෝ, මේ වාකි" කෙල්ල ගිරව් දෙන්නට අත දික් කරලා පෙන්නුවා. තිලීටයි මටයි මූණෙන් මූණ බැලුනා. අම්මට වගෙ මේ කෙල්ලටත් ඔළුවෙ අමාරුවක් තියෙවා වගේ. ඒකි ආයෙමත් ආවේසෙකින් වගේ කියවන්න ගත්තා. ගොත ගගහ පැමිණිල්ලක් කරනවා වගේ ඒකි කියෙව්වෙ. වේගෙ අල්ල ගන්න බැරි නිසා මම වචන අල්ලන එක නතර කලා. නිලාමදි කියෙව්වෙ ඔළුව කහ කහ. එයාගෙ ඇස් ලොකු වෙන හැටි පුංචි වෙන හැටි, මූණ මේ අතට හරවන හැටි මං බලා හිටියා. කොණ්ඩෙ තඹ පාටක් ගැහිලා. අම්මා වෙද්දි මාව අත ඇරලා ගිහිල්ලා සුට් කේස් එකක් අවුස්ස අවුස්ස මොනවදෝ හොය හොය හිටියෙ. එළියෙ හිටිය අපේ කටිටිය සැරින් සැරේ ගෙට එබුණෙ යමු කියලා නොකියා කියමින්. නිලාමදි හෝ ගාලා කියවනවා.

අම්මා සුට්කේස් එකෙන් හොයාගෙන ආවෙ කළු සුදු පිංතූරයක්. පිංතූරෙ හිටියෙ මගෙ වයසෙම වගේ කොල්ලො දෙන්නෙක්. දෙන්නා කරවල් වල අත් දාගෙන. නිලාමදි ඇවිල්ලා තිලීටයි මටයි පිංතූරෙ ඉන්න අයව විස්තර කලා. ඉත්තෑකූරු කොණ්ඩයක් එක්ක ලොකු ඇස් දෙකක් තිබුණු කඩවසමි හාදයා යශෝධරන්. පොඩි ළමයෙකුගෙ හිනාවක් තිබුණු අනිත් කෙනා වාකීසන්. දෙන්නම ලොකුවට හිනා වෙනවා. මගෙයි යශෝධරන්ගෙයි සමාන කමකට තිබුණෙ ලොකු ඇසුයි, ලොකු තොලුයි විතරයි. ඒක අම්මෙක්ව රවටිටන්න පුළුවන් සමානකමක් නෙමේ. අපි ආපහු එන්න පිටත් වෙනකොට අම්මා ටිකක් සන්සුන් වෙලා හිටියෙ. එයා ටිකක් ඈතින් ඉදන් අපි දිහා බලන් හිටියා. ඇස් කියන දේවල් තේරුම් ගන්න උත්සහ කළත් සුද බැඳිචිච ඇස් මුකුත්ම කිව්වෙ නෑ.

"නොකිව්වට ඕකුං ඔක්කොම කොටි වෙන්න ඇති, දැක්කද ඒකිගෙ කොන්ඩෙ කොටට කපලා තිබිච්ච හැටි"

ජයේ කියන කොට තිලී මං දිහා බලලා හිනා වුණා. හිනාව මට තේරුණා. තිලී කැනඩාවට යන්න වෙන කොට හුඟක් මහන්සි වෙමින් හිටියෙ. අතරවාරෙ පොඩි පොඩි පරිවර්තන වැඩ කර කර හොයා ගන්න සල්ලි හරි පරිස්සමට ඉතුරු කලා. මූණට නොකිව්වට තිලී හරි කුණා කියලා අපේ කට්ටිය කතා වෙනවා මට කීප විටක්ම ඇහිලා තිබුණා.

"මොනවද කෙල්ල ආවේසෙන් වගේ දෙඩෙව්වෙ?" මම ඇහුවා තිලී අතීරණෙන් වගේ තත්පරයක් ඉඳල පිටිපස්ස හැරිලා ජයේ දිහා බලලයි කතා කරන්න ගත්තෙ.

නිලාමදි එයාගෙ අයියගෙ කතාවයි කිව්වෙ, අයියට ඕනෙ වුණේ සංගීතෙ ඉගෙන ගන්නලු. ගිටාර් ගැහුවලු. යාළුවොත් එක්ක ගෲප් එකකුත් පටන් ගත්තලු. එයාලම එකතු වෙලා රව් සෙට් එකකුත් හැදුවලු. හොඳට සින්දු කිව්වලු. අයියා ඉංගීරසි සිංදු කියන්නලු වැඩිය කැමති. අයියගෙ හොඳම යාළුවා, වාකිත් සිංදු කිව්වලු. දෙන්නා පොඩි කාලෙ ඉඳන්ම හොඳම යාළුවොලු. පස්සෙ පස්සෙ එයාලා සිංදු කියන එක නවත්තලා. මොකද වාකි නිතරම යශොත් එක්ක රංඩුවට ඇවිත්. වාකිත් එක්ක කතා කරන්න එපා, එයා කියන ඒවා විශ්වාස කරන්න එපා කියලා, යශෝ නිලාමදීටයි අම්මටයිත් නීති දාලා. ගෲප් එකේ අනිත් කොල්ලොත් හිටියෙ වාකිගෙ පැත්තෙලු. සංවිදානෙ හිටපු කමලා කියලා ගෑනියෙකුත් දවස් වල වාකිව මුණ ගැහෙනවා කියලා ආරංචි ආවලු. යශොයි, වාකියි තරහ වෙලා. වාකි සැරෙන් සැරේ යශෝව බලන්න ආවම යශෝ වාකිට බැනලා එලෝගෙන. දෙන්නා දරුණු විදියට රණ්ඩු කර ගත්තලු. ඊට ටික දවසකට පස්සෙ වාකි අතුරුදහන් වෙලා. යශෝ දවස් ගානක් නොකා නොබී බලාගත්තු අත බලාගෙන ඉඳලා. පස්සෙ එක රෑක ගෙදර කට්ටියට එයා ගැන ආයෙ හොයන්න එපා කියලා පොඩි ලියුමක් ලියලා තියලා අතුරුදහන් වෙලා. පස්සෙ කාලෙක නිලාමදිත් සංවිදානෙට බැඳුනට යශෝ ගැනවත් වාකි ගැනවත් කිසිම තොරතුරක් හොයාගන්න බැරි වෙලා. නිලාමදිලගෙ ලිඳ ගාවට හැමදාම හවසට ගිරව් දෙන්නෙක් එනවලු. උන් මාල ගිරව්. නිලාමදිලා උන්ට බත් දෙනවලු. උන් නිලාමදි දිහා බලන විදියට නිලාමදීට හිතෙන්නෙම කොහෙදි හරි මැරිච්ච යශෝයි වාකියි කියලාලු.

මගෙ ඔළුව ඇතුළෙ යශෝයි, වාකියි ගැන වෙනමම කතාවක් දළු දාන්න ගත්තත් මම දළු කඩලා විසි කලා. මට එක පාරටම මං ගැනම මහ හිරිකිතක් දැණුනා.

අම්මා වමනෙ දාන්න මගෙ ඇඳ ළඟ තියලා තිබුණු ටින් එක මම දැක්කෙ දෙකක් වගේ. වමනෙ ගියෙ මුහුදෙ රැළි ගහනවා වගේ. අන්තිමට ඇඟ දඟර ගගහා ඔක්කාරෙ කලත් එළියට දාන්න දෙයක් තිබුණෙ නැහැ. වමනෙ බිම හැම තැනම. ඔළුව ඇතුළෙන් එන වේදනාව දරන්න බැරි තරම්.

"කිලිනොච්චි කියන එකේ තේරැම දන්නවද? නික ගස් වල වහපු ගිරව්, මේ දම් පාටට පොඩි මල් පිපුණු, හීන් දිග කොළ තියන ජාතිය...." තිලී නික ගහක් දැකපු වෙලාවක කිව්වා. සට සට ගා ගිරව් පියාඹනවා.. උං හැමතැනම වහලා. යට ලීයෙ පෝළිමට. ජනෙල් පඩිය උඩ වහන්ඩ ඉඩ නැති උං කිරීස් ගා කෑ ගගහා පියාඹනවා. ආච්චිලගෙ වත්තෙ පොල් කඩපු අවුරුදු ගාණකට කලින් ගහකින් වැටිලා මැරිච්ච ජේමිස් සරම කැහැපොට ගහගෙන මයිල් පිරිච්ච කකුල් වන වන ගිරව් වහලා ඉන්න බාල්කෙක වාඩි වෙලා රතු ඇස් වලින් මගෙ දිහා බලන් ඉන්නවා. මම තද කරලා ඇස් පියා ගත්තා. තද කළු පාට අන්දකාරෙක ගිරව් ඉංගීරසියෙන් සිංදු කිය කිය රවුමට රවුමට පියාඹනවා.

කිරාංචි වෙරළෙදි සමන් කුමාරව දැකපු ගමන් මගෙ ඔළුවෙ විදුලි කෙටුවා. එයාට තිබුණෙ ගොරෝසු ඇහි බැමි යටින් වෙඩි තියන ඇස් . මං එයා දිහා කෙලින් බැලුවෙ නැතුවට මාළු අල්ලන මිනිස්සු ගෙනාපු දැල්ලන්ව අපි මනින දිහා මිනිහා උනන්දුවෙන් බලන් ඉන්න හැටි පැත්තට දැක්කා.

"මහත්තෙලා මෙතන වැඩ කරන්ඩ අපේ බිරගෙඩ් එකෙන් අවසර ගත්තද?"

මිනිහා ඇහුවෙ සෑහෙන වෙලාවකට පස්සෙ. මං ඔව් කිව්වම මිනිහා මගෙ කට වචනෙ විශ්වාස කළා.

"කට්ටියම සිංහලනෙ, අවුලක් නෑ"

ටිකක් ඈතින් තව ආමි කොල්ලො දෙන්නෙක්, ජයේ දැල්ලන්ගෙ සාම්පල් බෝතල් වලට දාන හැටි බලන් උන්නා. මං සිගරට් එකක් පත්තු කරගෙන හෙවණට ගියා. මාළුවා හැරිච්ච ගමන් මං ඔළුවෙන් කතා කරලා සිගරට් එක දික් කලා. මාළුවා ඇම ගිල්ලා. වෙඩි තියන ඇස් දෙක මගෙ ළඟට ආවා. තිලී අමුතු හිනාවක් එක්ක මට ඇහැක් ගහලා අහක බලා ගත්තා.

"මල්ලි, ගම් පළාත් කොහෙද?"

"මං එප්පාවල, එළියදිවුල්වැව අයියෙ"

මාළුවා ලොකු හිනාවක් එක්ක කිව්වා. තමන්ගෙ ඇස් වෙඩි තියන බව දන්නෙ නැහැ කියලා කට අරිනකොටම ඕනෙ කෙනෙක්ට තේරෙනවා. වෙඩි තියන ඇස් තිබිචිච මාළුවා දෙපාරක් ඇදලා ආයෙ සිගරට් එක මට දුන්නා.

"මල්ලිලා කිරයාන්විතෙත් හිටිය ?"

"නැතුව අපි නන්දිකඩාල් වලත් හිටියා අයියෙ, දවස් වල මට කහ උනත් හැදුණා. හැමෝම හිතුවෙ මං මළා තමා කියලා. දවස් හතරක්ම සිහි නැතුව උන්නා. මංවත් හිතුවෙ නෑ ආයි බත් කයි කියලා. පුරුවෙ පිනක් තිබිලා බේරුණා. අයියා කොයි පළාතෙ ?"

"මං පිළියන්දල, මෙහෙ හොඳයි ?"

කොල්ලා හීනියට හිනා වුණා. වෙඩි තියන ඇස් දෙකකුයි ලොකු තොල් දෙකකුයි තිබුණට, ඌට තිබුණෙ පොඩි එකෙකුගෙ අහිංසක හිනාවක්. උල් දඩයං දත් නිසා හිනාව ඇතුළෙ වෙනම ලස්සනකුත් තිබුණා.

"දැන්නං ඉස්සර තරං නිවාඩු ගන්ඩ අමාරු නෑ. ඒත් ඉතිං ගම් පළාතෙ ඉන්නවා වගේ කොහෙද?"

"ඇයි , එහෙ දාලා එන්න බැරි කෙනෙක් ඉන්නවද?"

කොලුවට ආයෙමත් හිනා ගියා.

"තාම එයාව බැඳලා නෑ, එන අවුරුද්දෙ අපි බඳිනවා"

"මොකක්ද නම?"

"බට්ටි"

"බට්ටි?"

"ඇත්ත නම දමයන්ති, ගෙදෙට්ට කියන්නෙ බට්ටි කියලා"

"කවුද බට්ටි කියලා නම දැම්මෙ, ඔයාද?"

"නෑ, පොඩිකාලෙ එයාලෑ අම්මා දාන්න ඇති"

"දමයන්ති නං දම්මි කියන්න එපැයෑ, ඇයි බට්ටි කියන්නෙ?"

කෝපරල් සමන් කුමාරට හිනා.

"ඒක මට නෙමේ, එයාලැයි අම්මට කියන්න"

"ඉතිං ඔයාවත් මීට පස්සෙ දම්මි කියන්න"

"මොන නම කිව්වම මොකෝ"

මං තණකොළ බිස්සෙ වාඩි වෙලා තවත් සිගරට් එකක් පත්තු කර ගත්තා. සමන්ටත් එකක් දුන්නා.

"කී දෙනෙක්ට වෙඩි තියලා තියනවද?"

සමන් ගැස්සුනා. මං දුං වලල්ලක් ඇරියා.

"අපි පංසල් ගිය, දංසැල් දුන්න කොල්ලො අයියෙ, මල් පුජා කරපු අත් වලින්ම පෙර කරුමෙකට තුවක්කු අල්ලන්න උනාට"

"අක්කරායන් වලදි හම්බ වෙච්ච ආමි මල්ලියෙක් අරුංගෙ කෑම්ප් එකකට ගහපු කරපු හැටි කිව්වා, උංගෙ එකෙක්ටවත් බේරිලා යන්න දීලා නෑ"
මං කිව්වම සමන් නිකට උස්සලා මගෙ දිහා බැලුවා.

"අපේ තාත්තා මැරෙන කොට මට අවුරුදු අටයි. අම්මා මල්ලිවයි, මාවයි මහණ කරන්න හැදුවා. මල්ලි මහණ වුණා. මං කෑ ගහල අඬලා ගෙදර නතර වුණා. මට තව නංගිලා දෙන්නෙකුයි, අක්කෙකුයි ඉන්නවා. අම්මා පොස්පේට් එකේ වැඩට ගියා. දැන් වකුගඩු අමාරුව. එක නංගි කෙනෙක් පැනලා ගියා. අනිත් නංගියි අක්කයි ගෙදර"

වෙඩි තියන ඇස් වලින් මගෙ දිහා බලාගෙන කියවගෙන කියවගෙන ගියා. ඇස් තව දුරටත් වෙඩි තියන්නෙ නැහැ.

මං තිලීට කතා කරලා අපි දෙන්නගෙ ෆොටෝ එකක් ගන්න කිව්වා. සමන් යුනිෆෝමි එකේ රැුලි අතින් හදලා මෝල් ගහක් වගේ හිටගෙන හරි කෙලින් කැමරාව දිහා බැලුවා. මං සමන්ගෙ කර වටේ අත දැම්මත්, සමන් මගෙ කර වටේ අත දැම්මෙ නැහැ. "හිනා වෙන්නකො රවං ඉන්න නැතුව" මම කිව්වම කොල්ලා සැර පෙනුම බහින්නෙ නැති වෙන්න හීන් හිනාවක් දැම්මා.

දවල්, නිලාමදි, වෙරළට ආවා අපි ගාව රස්සා තියනවද බලන්න.
අපි ගාව රස්සා තිබුණෙ නැහැ.
හවස අකුණු ගගහා වැස්සා. සමන්ලා පොයින්ට් එකේ තේ වක්කරලා අපිටත් බොන්න දුන්නා. සමන්ගෙන් විතරක් ඉල්ලන්න බැරි නිසා මම ආමි කොල්ලො තුන් දෙනාගෙම ටෙලිෆෝන් නොම්බර ඉල්ල ගත්තා.

ආපහු මන්නාරමට එද්දි වෙල්ලංකුලම් හරියෙදි වාහනේ මඩේ එරිලා, ඒක තල්ලු කරන්න ගිහින් අපි හැමෝම තෙමුණා. ළඟ ගෙදරක කොල්ලො ටිකක් අඬගහගෙනයි යාන්තං තල්ලුකර ගත්තෙ. මන්නාරමට එද්දි පාන්දර එකටත් ළඟයි.

සුබානිස් මාමා තාලෙට මතුර මතුර මගෙ ඔළුව වටේ කරකවලා ගිරෙන් කපන දෙහි ගෙඩි වල බෑ වතුර බේසමට වැටෙනවා. මගෙ ඔළුව ඇතුළෙ යාතිකාව දෝංකාර දෙනවා. ඇස් අරින්න බෑ ඇස් පිහාටු බරයි .

මම කිරංචි වෙරළෙ හිටගෙන ඉන්නවා. ඈතින් පේන දූපතේ ඉඳන් කවුදෝ අත වනනවා. එයාව බේරගන්න කියලා කෑ ගහනවා. ඒක බැරෑඬි වෙච්ච කටහඬක්. මම ? වාකි ? යශෝ ? සමන් කුමාර ? නැත්තං තිලී ?



ඉසුරු චාමර සෝමවීර.
http://kirikawadi.blogspot.com/2011/04/kiranchi.html



Related Posts Plugin for WordPress, Blogger...