Showing posts with label gay. Show all posts
Showing posts with label gay. Show all posts

Saturday, October 29, 2016

සමලිංගිකයින් සමාජ විරෝධීන්ද ??? by රමේෂා , http://magejointeka.blogspot.com

 

මිනිසුන්ගේ රුචි අරුචිකම් එ‍්‍කිනෙකට අසමාන වීම සාමාන්‍ය දෙයකි.ගැහැනියකගේ සහ පිරිමියකගේත් හුදෙක් සියළු මිනිසුන්ගේත් ලිංගික ආකර්ශනය එකිනෙකට වෙනස් වේ. ගැහැනියක ආකර්ශනය විය යුත්තේ පිරිමියෙකුට පමණක් බවත් පිරිමියෙකු ආකර්ශනය විය යුත්තේ ගැහැනියකට බවත් එය සම්මතය බවටත් සිතනා බහුතරයක් තවමත් අප අතර වෙයි..එනම් අප මිනිසුන් සියල්ල විශම ලිංගිකයින් විය යුතු බවට ඇති සමාජ සම්මතයයි.. නමුත් මිනිසුන්ගේ සිතුම් පැතුම් ආකර්ශනය හා සංවේදීතාවය එකිනෙකට වෙනස් වීමේ හේතුව මත මිනිසුන්ගේ ලිංගිකත්වය විශම ලිංගික/ සමාන ලිංගික හා සංක්‍රාන්ති ලිංගික යනුවෙන් විවිධ පැතිකඩවල් ඔස්සේ ගලා ගෙන යයි..මනුෂ්‍යයන් වන අප අනෙකාගේ ලිංගික තෝරා ගැනීමට ගරු කළ යුතු අතර සම්මතයෙන් එපිටට යාම විහිළුවට ළක් කළ යුතු කරුණක් හෝ අපහාසයට ළක් කළ යුතු කරුණක් නොවේ.. ආගම් බිහි වූයේද මිනිසුන්ගේ රුචි අරුචි කම් හා සිතුම් පැතුම් මෙන්ම විශ්වාසය මතය.බොහෝමයක් ආගම් වල හා මිනිසුන්ගේ විශ්වාසයන් අතර සමාන ලිංගිකයින් එසේත් නැත්නම් සමලිංගිකයින් වීම පවක් ලෙසින් දක්වා ඇත.දෙවිවරු හා ආගම් බිහි වූයේ මනුෂ්‍ය වර්ගයා බිහි වීමෙන් අනතුරුව බැවින් කිසි විටකත් මිනිසුන්ගේ ලිංගිකත්වය ප්‍රශ්ණ කිරීමට ආගමකට අයිතියක් නොමැති බව මගේ අදහසයි..
පිරිමියෙකු කාන්තා ඇදුමක් ඇදගෙන ගියහොත් එය විහිළුවට ළක් වන කරුණක් වන අතර සම ලිංගිකයින් සමාජයේ ප්‍රසිද්ධියේ තමන් සමලිංගිකයින් යැයි පිළිගතහොත් එය අපහාසයට ළක් වන කරුණක් වේ. මේ සියල්ල ඇති වන්නේ මිනිසුන්ගේ පටු සිතීම අනුවය. තමන් සමලිංගිකයෙකු නොවීම අනෙකුත් සමලිංගිකයින්ව ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් නොවේ. එසේම පිරිමින් දෙදෙනෙකු අතර ඇති වන සම්බන්ධතාවයක් අනෙකුත් පිරිමින්ට (විශම ලිංගික) අප්‍රසන්න කාරණාවක් වන අතර ගැහැනුන් දෙදෙනෙකු අතර ඇති වන සම්බන්ධකමක් ඔවුන්ට කථා කිරීමට කැමති ලිංගික උත්තේජනයක් වන කරුණක්ද වේ. මෙය අපට සමාජයේ දක්නට ලැබෙන දෙයකි.. සමලිංගිකත්වය මානසික රෝගයක් ලෙසින් විවේචනයට ළක් වූවත් නූතයේ සමලිංගිකත්වය යනු මානසික රෝගයක් නොවන බවට සොයාගෙන ඇත. එසේම දියුණු රටවල සමලිංගික විවාහද නිත්‍යානූකූල කර ඇත.
ලංකාවේ මාධ්‍ය සමලිංගිකත්වය යන කරුණ ඉදිරියේ හැසිරෙන්නේ සමාජ විරෝධී දෙයකට විරුද්ධ වන්නන් ලෙසිනි. මෑතකදී රිවිර පුවත්පතේ ගවේශන යටතේ එක් මාධ්‍යවේදීයෙක් යැයි කියා ගත් පුද්ග‍ලයෙකු ලංකාවේ ප්‍රධාන සමලිංගික සංවිධානයක් තුළ වෙනත් නමකින් පෙනී සිටිමින් සියලු තොරතුරු එක් රැස් කරගෙන ඒවා ගවේශනාත්මක ලිපියක් ලෙසින් ලියා තිබුනි. ඔහු එම සංවිධාන‍ය තුළ සමලිංගිකයෙකු මෙන් පෙනී සිටිමින් අවසානයේ සියළු තොරතුරු සමාජයට වාර්තා කළ අතර එයින් පෙන්වා දුන්නේ සමලිංගිකයින් යනු මානසික රෝගීන් බවත් ලංකාවේ සමලිංගික මාෆියාවක් ඇති බවත්ය. ඉතා අවාසනාවන්ත ලෙස ඉන්පසුව එම සංවිධානයට ඔවුන්ගේ ක්‍රියාකාරකම් අඩාල කිරීමටත් තවත් රහස්‍ය ‍ලෙස කිරීමටත් සිදු විය..
රිවිර පුවත්පතේ ගවේශනාත්මක ලිපි යටතේ එම ලිපිය ලිවූ මාධ්‍යවේදියෙකු යැයි කියාගත් නූගත් අසංවේදී පුද්ගලයා නොදන්නා දෙයක් ඇත. එනම් සමලිංගිකයින් ‍වෙනුවෙන් පෙනී සිටි එම සංවිධානය විසින් ප්‍රධාන සමාජ රෝග පිළිබදව සමලිංගිකයින් අතරේ කරගෙන ගිය ක්‍රියාවලියයි.සමාජ රෝග පැතිරීම වැළැක්වීම සදහා සංවිධානයක් ලෙසින් ඔවුන් මෙම සමාජයට දුන් දායකත්වය අවසානයේ නූගත් මාධ්‍යවේදියෙකු අතින් ලියවුනේ ඉතාමත් පහත් ලෙසිනි. මේ අපේ මාධ්‍යයේ ඇති උගත් කම සහ නිදහසයි..
සමලිංගිකයින් යනු සමාජ විරෝධිකයින් යැයි හදුන්වනා මාධ්‍යට සැබෑ සමාජ විරෝධීන් පෙනෙන්නේ නැත. රිවිර පුවත් පතේ කතෘද ‍කශේරුකාවක් නැති නූගත් පුද්ග‍ලයෙකු බව මගේ පුද්ගලික මතයයි..
සමලිංගිකයින් මනුෂ්‍යයන් වන අතර වෙනස ඔවුන් බහුතරයකගේ තෝරා ගැනීම වන විශම ලිංගිකත්වය තෝරා නොගෙන සමාන ලිංගිකත්වය තෝරා ගැනීම පමණි. ඔවුන් සමාජයේ අයිතිවාසිකම් ලැබිය යුතු පුරවැසියන් වන අතර ගුණ ගරුක යහපත් සදාචාර සම්පන්න රජය විසින් ඔවුන් සමාජ විරෝධීන් කර ඇත. මිනිසුන් උන්ට හදා දුන් කොටු තුළ ජීවත් වීම උන්ගේ කැමත්තකි. එසේම උන් උන්ට හදා දුන් එම කොටු කඩාගෙන ඉන් පිටත තම ජීවිතය ජීවත් කරවීමට උත්සාහ දරන්නේ නම් එය උන්ගේ කැමැත්තකි. තමන්ගේ ලිංගිකත්වය තෝරා ගැනීම සමාජ විරෝධී ක්‍රියාවක් වන්නේ නැත. එය අනිත් උන්ගේ උපහාසයට ළක් විය යුතු කරුණක් වන්නේද නැත. ආදරයට ලිංගික භේදයක් නොමැති අතරම සියළු මිනිසුන්ට තෝරා ගැනීමේ නිදහස තිබිය යුතුය..
මිනිසුන් කොටු කඩාගෙන ඉන් පිටතට පැමිණීම රජයක් ‍ලෙසින් අනුමත නොකරන්නේ ඔවු‍න්ගේ පැවැත්ම පිළිබදව ඔවුන්ට ඇති අනියත බිය හේතුවෙනි.. සමලිංගිකයෙකු වීම තවදුරටත් බිය විය යුතු කරුණක් නොවන අතරම ඔවුන්ගේ නිදහස කප්පාදු කරන්නන් වෙනුවෙන් කථා කිරීමටද තව දුරටත් දෙවරක් සිතිය යුතු දෙයක් නොවේ..සමලිංගිකයින් පිළිබදව සමාජයට වැරදි මත පළ කරන්නන් ලිංගික කුහකයින් විනා වෙන කිසිවෙකුත් නොවේ.

Link http://magejointeka.blogspot.com/2012/07/blog-post_12.html

Thursday, January 23, 2014

සිංහල සිනමාවේ පිරිමි සමරිසි ආදරය ... Frangipani නැත්නම් අරලියා මල








Frangipani නැත්නම් අරලියා මල සිංහල සිනමාවේ පිරිමි සමරිසි ආදරය ගැන මූලිකවම කතා කරන පළමු චිත්රපටය වෙන්නයි යන්නේ.කියන විදියට මේ චිත් පටයේ ගැබ් වෙන්නේ සමරිසි ආදරයකින් බැඳි තරුණයන් දෙන්නෙක් අතරට ආදරය සොයා එන තරුණියක් එක්වී නිර්මාණය වන තුන්කොන් ආදරයක්.

Movie Trailer එකේ පේන විදියට නම් නිර්මාණය ඉතාම කලාත්මකයි.
වගේම කවදාවත් සිංහල සිනමාවේ ප්රධානවම කතා නොවුනු දෙයක්.










Monday, June 25, 2012

වැරන් බඳුන​(warren cup)

සමහර දෙනා සිතනුයේ සමරිසි භාවය අලුතින් ඇතිවූ සංකල්පයක් බවයි.එහෙත් එය සම්පූර්ණයෙන්ම වැරදි මතයකි.
එයට හොඳම උදාහරණයකි මේ වැරන් රිදී බඳුන​.
එය ක්‍රිස්තු වර්‍ෂ 1 වන සියවසේ නිර්මාණය වූ ඉතා උසස් රෝම කලා කෘතියකි.නමුත් එයින් නිරූපණය වන දෙය නිසා මෑතක් වන තුරුම කෞතුකාගාර වලින් ප්‍රතික්‍ෂේප වූවකි.
එහි ප්‍රධානවම අනර්ඝ කැටයම් දෙකක් ඇත​.ඒ දෙකින්ම දැක්වෙන්නේ තරුණයන් දෙදෙනෙකු සමලිංගිකව හැසිරෙන ආකාරයයි.



මේ රිදී බඳුන රාත්‍රී සමාජ සාද සඳහා භාවිතා වූ වක් බව ඉතිහාසඥයන් ගේ අදහසයි. මෙයින් ආදි රෝම සමාජයේ ලිංගිකත්වය පිළිබඳ කෙතරම් නිදහස් අදහස් පැවතුනිද යන්න මනාව තහවුරු වේ.මෙවැනි සමලිංගික ක්‍රියා දැක්වෙන ග්‍රීක හා රෝම කලා කෘති රාශියක් හමු වී ඇත​.
ආදි රෝම සමාජය ලිංගිකත්වය විෂම හෝ සමලිංගික ලෙස නොබෙදූ අතර ඔවුන්ට සමලිංගිකත්වය සඳහා වෙනම වචනයක්ද නොවීය​.වහලාගේ සිට අධිරාජයා දක්වා ලිංගික නිදහස පැවතුනි.
එයින් ප්‍රසිද්ධම ආදර කතාව Hadrian නම් අධිරාජයා හා නම් Antinous ග්‍රීක තරුණයා අතර සමරිසි සම්බන්ධයයි.



මෙම බඳුනේ එක පසෙක වැවුණු රැවුලක් සහිත පුරුෂයෙකු හා ඔහුට වයසින් බාල තරුණයෙකු ලිංගිකව එක්වන අයුරු නිරූපිතය.තවත් තරුණයෙක් ඔවුන් ගේ ලිංගික හැසිරීම දෙස බලා සිටිනු පසෙකින් දැක්වෙයි.
 පුරුෂයින් දෙදෙනාම ජව සම්පන්න ක්‍රීඩා ශීලී සිරුරු ඇත්තෝ වෙති.අවට පරිසරය වංශවත් පසුබිමක් පෙන්වයි.

අනෙක් පස රූපයෙන් දැක්වෙන්නේ නව යොවුන් තරුණයන් දෙදෙනෙකු සමලිංගිකව හැසිරෙන ආකාරයයි.
සමහර ඉතිහාසඥයන් ගේ මතය වන්නේ මෙයින් තරුණ සේවකයකු හා ඔහුගේ තරුණ ස්වාමියා අතර සමලිංගික සම්බන් ධයක් නිරූපනය වන බවයි.


මෙම අගනා කලා කෘතිය පොළවෙහි වැලලී තිබී හමුවූ අතර​1911දී Edward Perry Warren විසින් ජෙරුසෙලමේදී පවුම් 2000 කට මිලදී ගන්නා ලදී.
1950 ගණන් වලදී මෙම බඳුන විකිණීමට ඉදිරිපත් වුවද මෙහි ඇති දර්ශන නිසා සෑම කෞතුකාගාරයක්ම මෙය ප්‍රතික්‍ෂේප කළ අතර ඇමෙරිකාව මෙය එරටට ගෙන ඒමද තහනම් කළේය​.
එහෙත් 1999දී මෙම රිදී බඳුන නැවත වෙන්දේසි වූ විට ලොව පුරා සෑම ආයතනයක්ම මෙම බඳුන අයත් කර ගැනීමට තරඟ කළහ​.
අවසානයේ බ්‍රිතාන්‍යය කෞතුකාගාරය මෙම බඳුන පවුම් මිලියන 1.8 කට මිලදී ගත්තේය​.එය 1950දී ඉදිරිපත් වූ ගනන මෙන් කිහිප ගුණයකි.
දැන් මෙම බඳුන එම කෞතුකාගාරයේ විශේෂ මැදිරියක මහජන ප්‍රදර්ශනයට තබා ඇත​.

Further reading

http://www.bbc.co.uk/ahistoryoftheworld/objects/D6XhBBXCTPy-tLxOUvy-FQ

http://en.wikipedia.org/wiki/Warren_Cup

Tuesday, February 7, 2012

"ගේ" උන්ට දෙන දඬුවම මොකක්ද? ..... By Voice of Thambu

සමරිසි භාවය ගැන සිංහලෙන් ලියවුනු ඉතාම හොඳ,වැදගත් නිවැරදි ලිපියක් ලෙස මේ ගැන කියන්න පුලුවන්.සුලු පිරිසකට වුනත් මේ පිළිබඳ නිවැරදි අවබෝධයක් තියෙන එක ගැන ඇත්තටම සතුටුයි.
Thanks Thambu

original link-
http://voiceofthambu.blogspot.com/2011/10/blog-post_10.html?showComment=1328686780373#c4515961273723083412




"අඩෝ බලපං මචන්, අම්මද බොල මෙහෙමත් සීන් මේ රටේ තිබ්බෙ බවක් අපි දැනං හිටියෙ නෑනෙ, අඩෝ මුං අපේ ආගම සංස්කෘතිය, හැදියාව නැති කරල දානව නෙ, නොදකින් ______ බල්ලො බැල්ලියො ටික.., මුන්ට වෙඩි තියල දාන්ඩ ඕනෙ, ________ගෙ ________, තොපේ අ______ ________"

රෑ තිස්සෙ කැන්ටිමේ පොර හදල දීපු අමු තිත්ත කෝපි බිබී අල බාල* බාල, යන්තම් පොඩි ඇලර්ට් එකක් දාන්ඩ සෙට් වුණා විතරයි, උඩ ඇඳේ ඉන්න සිරා** හීනෙන් නැගිටලද මන්ද අමු තිත්ත විනිශ්චයක් අත අරිනව (පොර හැබැයි හැම පෝයටම පල්ලි යන නත්තල් දාත් සිල් ගන්න, තෛපොංගල් වලට උපවාස කරන ඩයල් එකක් ).. ඌට ලොවෙත් කියල තියෙනව රෑ තිස්සෙ ෆොක්ස් ක්‍රයිම් බලන්නෙ නැතුව නිවිහැනේ ඇවිත් පන්සිල් අරන් බුදියගනින් කියල කොහෙද ඉතින් අහනවැයි? ළගඳි ඉඳන් අර "පචවිර" ද මොකක්ද පත්තර කඩමල්ලකුත් බලනව අයිබොං, ඕකෙ තියෙන නස්පැත්තියක් අල්ලං වෙන්ඩැ එකත් එකටම දොඩවන්නෙ.. 

"අඩෝ සිරෝ, මොකද දොඩවන්නෙ ඈ, අපි නිදාගන්නෙ නැද්ද ඩෝ?"

"නෑ බන් තාඹුවො, බලපන් ඩෝ මේකෙ තියෙන සීන් එක.. මේ සමලිංගික වේ___ ____ල ටික එළි පිටම ගේම දෙනව අපේ සංස්කෘතියට, මේක ලියපු එකා උන්ගෙ පොට් එකකට ඒ එකෙක්ම වගේ ගිහින් තමයි ඔක්කොම මාට්ටු කරගෙන තියෙන්නෙ.. මොනව උණත් ලියපු එකා සිරා ඩයල් එකක්, එහෙම උන් තමයි මචෝ පත්තර කන්තෝරු වල ඉන්ඩ ඕනෙ" 

"සිරාවට? කවුද මචන් සෙට් එක? මොනවද බන් උන් කරන්නෙ?"


"නෑ බන් මේ එන්ජීඕ ඩොලර් කාක්කො ටිකක් තමයි.. බාගෙ විට උඹත් ඉතින් ඒවට හූමිටි තියෙනව ඇති, උඹත් ඉතින් ඇමෙරිකන් ගැත්තනෙ"


"යකෝ ඌරො, මට නිදිමතයි, මළ පන්නගන්නැතුව කියපන් මොකද වෙලා තියෙන්නෙ කියල සින්හලෙන්"..


"නෑ බන් අර 'ගේ' වේ__ බල්ලො ටිකක් නුවර බස් ස්ටෑන්ඩ් එක ළඟ කොන්ඩමුයි ජෙලුයි බෙදනවලු උන්ගෙ හැතිකරේට"
එක්සත් ජනපදයේ පොදු උද්‍යානයක කොන්ඩම් බෙදා දීමක්

"ඉතින් උන්ට ඒව ඕනෙ නේද?"


"යකෝ, 'ගේ' එවුන් ගේ කම ප්‍රමෝට් කරගත්තහම අපේ සංස්කෘතියට සදාචාරෙට වෙන දේ හිතපන්"


"කාගෙද? මගෙද? මගෙ සංස්කෘතියට සදාචාරෙට නම් අවුලක් නෑ අනික් උන් කරන දේ වලින්.. උන් කාටවත් කරදරයක් කරන්නෙ නෑනෙ.. උඹේ සංස්කෘතිය ගැන නම් මම දන්නෙ නෑ"


"යකෝ, ඌරො, මේක බෞද්ධ රටක්.. උඹට නම් අවුලක් නෑ උඹ ඉතින් සෙකියුලර් ආගමිකයෙක් නෙ"


"හරි හරි, බෞද්ධ සෙකියුලර් කතාව ඇදගන්ඩ ගිහින් උඹ පොරමොලාගෙ වෙඩින් එකේ නාගත්තු ටික ඇති නෙ.. ඒක පැත්තකින් තියමු.. ලංකාව බෞද්ධ රටක් කියමු.. නැතත් ඉතිං උඹ බෞද්ධයනෙ.. කියපං බලන්ඩ බුද්ධාගමේ කොහෙද සමලිංගික වෙන එක නරකයි කියල තියෙන්නෙ කියල?"


"ඇයි යකෝ තුන් වෙනි සිල් පදේ කියන්නෙ කාමේ සු මිච්ඡාචාරා කියල"


"ඒ කියන්නෙ? මම බෞද්ධය නෙමෙයිනෙ.. පොඩ්ඩක් එලැබොරේට් කොරපන්කො"


"ඒ කියන්නෙ කාමයෙහි වරදවා හැසිරෙනව කියන එක.. වැරදි විදිහට සෙක්ස් කරන එක සිංහලෙන් කිව්වොත්"


"හ්ම්ම්.. වැරදි විදිහට කිව්වෙ?.." 


"තමන් කසාද බැඳපු මිනිහ ඉන්නැද්දි වෙන මිනිස්සු එක්ක සම්බන්ධ වෙන එක.. තමන් කසාද බැඳපු ගෑනි ඉන්නැද්දි වෙන ගෑනු එක්ක යන එක"

"හ්ම්ම්.. එතකොට කසාද නොබැඳපු ගෑනියෙකුයි මිනිහෙකුයි එක් වෙන එක?.. දැන් ඉස්සර කාලෙ ගෑනුයි මිනිස්සුයි කසාද බැන්දෙ නෑනෙ නීතියෙ හැටියට"

"හරි යකෝ, උන් දෙන්න කොළ කෑල්ලක හැටියට බැන්දෙ නැතුවට කපල් එකක් විදිහට සමාජෙ ඉන්නව නම් අවුලක් නෑ.. දකින දකින මිනිහ එක්කයි ගෑනියි එක්කයි යන එකයි එපා කියල තියෙන්නෙ".. 


"ආහ්.. හරි හරි, තේරුණා.. හරි එතකොට මෙහෙම හිතපන්.. මිනිස්සු දෙන්නෙක් ඉන්නව කපල් එකක් විදිහට.. නැත්තම් ගෑනු දෙන්නෙක් ඉන්නව කපල් එකක් විදිහට.. දකින දකින මිනිහ හරි ගෑනි හරි එක්ක යන්නෙ නෑ.. එතකොට?"


"යකෝ මහ පවුකාර වැඩක්නෙ ඒක"


"පවුකාර වැඩක්? ඒ කොහොමද එහෙම වෙන්නෙ?"


"යකෝ ඕක තේරෙන්නෙ නැද්ද? බුදු දහමෙ කවදාවත් අනුමත කරල තියෙනවද ඔය වගේ වල් මගුල්?"


"හරි, එතකොට උඹ  මගෙ ලැපේ මටත් හොරෙන් රෑ තිස්සෙ එකසිය ගාණට වැ__ බලන්නෙ? මට අලයක්වත් බාගන්ඩ නොදී? ඒව බුදු දහමෙ අනුමත කරල තියෙනවද?"


"ඒකෙන් කාටවත් හානියක් නෑනෙ.. අනික ඒක බුදු හාමුදුරුවො එපා කියලත් නෑනෙ?" 


"ඉතින් ගේ, ලෙස්බියන් සීනුත් එහෙම තමයි.. උන් ඉන්න විදියෙන් කාටවත් කරදරයක් තියෙනවයැ? අනික බුදු දහමෙ කියන තුන් වෙනි සිල් පදෙත් උඹ කියන විදිහට අරන් බැලුවොත් ගේ, ලෙස්බියන් උන් ඒක කඩන්නෙ නෑ"


"එතකොට උඹ කියන විදිය මොකක්ද තුන් වෙනි සිල් පදේ?"


"මම කියන විදිහක් නෑ.. මම බෞද්ධයෙක් නෙමෙයි තුන් වෙනි සිල් පදේ තෝර තෝර ඉන්ඩ, උඹමයි කිව්වෙ උඹ බෞද්ධයෙක් කියල, උඹමයි ඔය කියපු සිල් පදේ තෝරල දුන්නෙ, උඹම තෝරපු විදිහට එක සහකාරයෙක් / සහකාරියක් ඉන්න ගේ, ලෙස්බියන් උන් ඒ සිල් පදේ කඩන්නෙ නෑ***.. හරි, උන් කඩනවමයි කියල කියමුකො.. ඒත් උන් ඔක්කොම බුද්ධාගමේ විදිහටම ඉන්ඩ ඕනෙ කියල කොහොමද උඹ කියන්නෙ? මට උන් එක්ක අවුලක් නෑ, උන් වෙන කාටවත් කරදරයක් නොකරනව නම්.. ඒක මේ බම්බුවෙ ආගමික හේතුවක් නෙමෙයි.."

"හා හා, එතකොට උඹ කියන්නෙ උන් කාටවත් වරදක් නැති පෝර්ටෙලොත් නිමල බොන අහිංසකයො? යකෝ, උන් තමයි ලංකාව කන්නෙ.. ඇති තරමක් පොඩි උන්ව දූෂණය කරන්නෙ.. ඇස් ඇරල බලපිය සංචාරක හෝටල් වලට එන සුද්දො, විශේෂෙන් ජර්මන් එවුන් හොයන්නෙම පොඩි කොල්ලන්ව"


"මචන්, උඹ හිතන්නෙ ලංකාවට එන සුද්දො ගොඩක් එවුන් ගේ එවුන් කියලද? පික්සුද යකෝ.. උන් කොල්ලන්ව හොයන්නෙ කෙල්ලො ෂෝර්ට් සප්ලයි හින්ද.. සමාජමය හේතුයි තවත් ගොඩක් හේතු නිසා දුප්පත් දෙමව්පියො තමන්ගෙ කොල්ලන්ව ඒ වගේ තැන් වලට යවනව.. ඒත් කෙල්ලෙක් යැවුවොත් පවුලට වෙන ඉම්පැක්ට් එක වැඩි නිසා කෙල්ලො යවන්නෙ නැහැ.. ඒ අපචාරෙට ලක් වෙන කොල්ලො පස්සෙ ගේ වෙන්ඩ නම් චාන්ස් එකක් තියෙනව කියල සමහර ස්ටඩීස් වලින් කියනව http://home60515.com/3.html .. ඒත් ඒකෙන් කියන්නෙ නෑ ගේ වෙන එවුන් ඔක්කොම අපචාරෙට ලක් වෙච්චි උන් හරි අපචාර කරන උන් හරි කියල.. අනික ගේ එවුන් අනික් උන්ට වඩා ළමා අපචාර කරනව කියන එක අමු බොරුවක්.. කිසිම ස්ටඩි එකකින් ගේ වීමයි ළමා අපචාරයි අතර සම්බන්ධයක් හොයාගෙන නෑ.. මචන්, ඔය වැ__ බැලිල්ල පත්තකට දාල මගෙ ලැප දියන් මෙහාට.. උඹට හොයල දෙන්ඩ ලින්ක් එකක් http://psychology.ucdavis.edu/rainbow/html/facts_molestation.html ඉඳා, මේක බලපන්” 


"හ්ම්ම්.. හරි, එහෙනම් මේකට උත්තර දියන්, උන් ඔච්චර අහිංසකයො නම් මොන මගුලට ද උන්ට විරුද්ධව නීති දාල තියෙන්නෙ? අර දණ්ඩ නීති සංග්‍රහයෙද මොකේද තියෙනව නේද උන්ව හිරේ අරින්ඩ පුළුවන් කතාවක්?"


"ඔවු, තියෙනව තමයි, සුද්දගෙ කාලෙ දාපු ගොං නීතියක්.. ක්‍රිස්තියානි ආගමේ හැටියට ගේ සීන් වැරදියි මම හිතන්නෙ, ඒක තමයි ඒ වගේ නීති දාල තිබ්බෙ බටහිර රටවල, ආගමික හේතුවක් හින්ද.. යුරෝපෙ අඳුරු යුගේදි නම් එහෙම උන්ව මැරුව.. ඒත් දහනමවෙනි සියවසේ උන් ලංකාවෙ ඒ නීති දාන කාලෙ වෙනකොට බටහිර රටවල තිබ්බෙ හිර දඬුවම් විතරයි.. ලංකාවෙත් උන් දැම්මෙ හිර දඬුවමක්.. 1950න් පස්සෙ ටික ටික තේරෙන්ඩ ගත්ත ගේ වෙන එක මහලොකු වරදක් නෙමෙයි, කොහොමත් සමාජෙ ඒ වගේ අය ඉන්නව කියල.. ඊට පස්සෙ ලෝකෙ පුරාම තිබ්බෙ ඒ වගේ නීති සූ ගාල අයින් වෙන්ඩ ගත්ත.. යුරෝපෙ සමහර රටවල්, ඇමෙරිකාවෙ සමහර ප්‍රාන්ත අද ගේ, ලෙස්බියන් උන්ට කසාද බඳින්ඩ හිටං අවසර දීල තියෙනව.. අපි ඉතින් සුද්දටත් වඩා සුද්දො වෙන්ඩ යන පිංගුත්තරයොනෙ.. අපි තාම අර පරණ නීති තියාගෙන ඉන්නව.. (හැබැයි මං දන්න තරමට දඬුවම් කරල නෑ කාටවත් 48න් පස්සෙ ).. 

ආහ්.. ගේ උන්ට විතරනෙ නීති තිබ්බෙ.. ලෙස්බියන් උන්ට මුකුත් අවුලක් තිබ්බෙ නෑනෙ.. 2008 හිටපු අධිකරණ ඇමති ලොක්ක "ලිංගික සාධාරණත්වෙ" කියල ලෙස්බියන් උන්ටත් අර නීතියම දැම්ම" 

"හරි, දැන් උඹ කියන්නෙ ඕක කිසිම රටක දැන් තහනම් නෑ කියල ද?"


2007දී ඉරානයේ සමරිසි යුවළක් එල්ලීම
"මොකද නැත්තෙ? මැද පෙරදිග, අප්‍රිකාවෙ සමහර රටවල තාම මරණ දඬුවම දෙනව.. තව සමහර රටවල බරපතල වැඩ ඇතුව හිරේ යවනව (මෙහෙ වාගෙ නෙමෙයි, ඇත්තටම යවනව ).. ඔය දඬුවම් තියෙන රටවල් ගොඩක් එක්කො දැඩි මුස්ලිම් රටවල්, නැත්තම් අප්‍රිකාවෙ පරණ ක්‍රිස්තියානි රටවල්.. නොදියුණු සමාජ තියෙන බැක්වර්ඩ් විදිහට හිතන මිනිස්සු ඉන්න රටවල්.. මට දුක අපේ රටත් ඒ ගොඩට වැටෙන එක"


"දැන් උඹ කියන්නෙ ගේ, ලෙස්බියන් උන්ට කසාද බඳින්ඩ දෙන්ඩ ඕනෙ කියලද?"


"කවුද එහෙම කිව්වෙ? මම කියන්නෙ ඉස්සෙල්ල උන්ව හිරේට යවන්ඩ පුළුවන් නීති අයින් කරන් ඉන්ඩ කියල.. හිරේ යවන්ඩ තරම් වැරැද්දක් උන් කරන්නෙ නැහැනෙ.. ඊට පස්සෙ එහෙම උනුත් සමාජෙ ඉන්නව කියල පිළිගන්ඩ කියල, උන්ව කොන් කරන්නෙ නැතුව.. කසාද බඳින්ඩ ඉඩ දෙනවද නැද්ද කියන එක පස්සෙ තීරණය කළහැකි"    


"අනේ යකෝ උඹ නම්... මට උඹට කියන්ඩ හිතෙනව හොඳවැයින් දෙකක්, ඒත් කියන්ඩ ඕනෙ එක එන්නෙ නෑ ඔළුවට" 

සිරාට එකසිය ගාණට නැගල වගේ..

ඌට දැන ඔළුවට මොනම ලොජික් එකක් හරි නේන හින්ද සයිලන්ට් වෙලා හිටියට ගේ උන්ගෙන් ගේමම ඉල්ලන අභීත ඩයල් එකක් ඌ.. මොනව කොරන්ඩද අයිබොං? එක්කො ඌ උගෙ බම්බුවෙ පත්තරේ කියෝල කෑ නොගහ ඉන්ඩ ඕනෙ, අනික් උන්ට ඇලර්ට් එකක් දාන්ඩ ඉඩ දීල.. 

සිරාගෙ කන්කරච්චලේ අහලද මන්ද ඇන්තනිය බ්‍රෂ් එකකුත් කටේ ගහගෙන දොර කඩාගෙන ආව ඕන්.. ඌට මම කියල තියෙනව තුවා ඇඳගෙන එන්ඩ එපා, ටිකක් සිවිල් පිට වරෙන් කියල අපේ කාඹරේට එද්දි, පළවෙනි දවසෙ ඌ එහෙම ඇවිත් අපේ සිරා දවසම මනෝ ගගහ හිටිය අයිබොං, වැඩටත් නොගිහින්..

"මොකක්ද බන් උඹල හැමදාම උදේ මෙතන බෙරිහන් දෙන්නෙ? ඈ තාඹුවො, උඹට අල බාල ඕවර්ඩෝස් වෙලාද? "


"අල නෙමෙයි බන්, මේ මේකගෙ ගෝරනාඩුව ඕවර්ඩෝස් වෙලා, ඌ දවස තිස්සෙ මගෙ ඩොන්ගල් එකේ ලිමිට් එක පනිනකම් වැ__ බලනව.. රෑට කෙල්ලො හතර පහ එක්ක වාත වෙලා කටගොන්නක් බීගෙන ඇවිත් උදේට "පචවිර" බල බල දේශප්‍රේමී ටෝක්ස් දෙනව.. ඌ කරන මගුල් ඔක්කොම දේශප්‍රේමී සදාචාරවත් ලබ්බවල්.. ගේ උන්ට බෙදන කොන්ඩමේ තමයි උගෙ සංස්කෘතියට පරහට හිටියෙ"


"ගණන් ගන්ඩ එපා මචං, උගෙ හැටිනෙ.. හැබැයි මචං මට නම් ගේ එවුන්ග් එක්ක අවුලක් නෑ.. ඒත් ඕක ප්‍රමෝට් කරන එක ටිකක් අවුල් නේද?"

"ප්‍රමෝට් කිරිල්ලක් නෙමෙයිනෙ බන්, කොන්ඩමුයි ජෙලුයි බෙදන්නෙ උන්ට ඒව ලොවෙත් ඕනෙ වෙන හින්ද නෙ"


"දැන් කවුද ඕක කොරන්නෙ?"


සර්වෝදය

"මෙහෙමනෙ මචං, මම දන්න හැටියට නම් හෙල්ත් මිනිස්ට්‍රියෙන් තමයි ඕක කෝර්ඩිනේට් වෙන්නෙ.. ඒකෙ තියෙනව ඒඩ්ස් මර්දන වැඩපිළිවෙලක්.. උන් තමයි තවත් දේශීය රාජ්‍ය නොවන සංවිධානයක් එක්ක එකතු වෙලා ෆන්ඩ්ස් සහ රිසෝසස් දෙන්නෙ.. ලෝක ඒඩ්ස් සහ ක්ෂය රෙඔග වැළැක්වීමෙ අරමුදලෙනුත් සල්ලි හම්බෙනව මගෙ හිතේ.. ඔය කොන්ඩම්, ජෙල්, ඕව බෙදන්නෙ සමලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න ස්වේච්ඡා සංවිධානයක්.. මට ඔය සීන් එක ගැන හරියටම මීටර් නැහැ.. ඒත් සෙක්ෂුවල් මෙඩිසින් සෙෂන්ස් වලදි කිව්ව ඔය ස්ට්‍රක්චර් එක ගැන ටිකක්.. ඕකෙ ගෝල් එක මචන් ඒඩ්ස් බෝ වෙන එක නවත්තන එක.."
ෆුල් නස්පුක් වෙලා ඉන්න සිරා ආයෙත් මැදට පැන්න..
"ඉතින් අහවල් බම්බුවටද ගේ උන්ට කොන්ඩම් බෙදන්නෙ? ඒඩ්ස් වළක්වන්ඩ?"


"මචන්, අනාරක්ෂකව ලිංගිකව එකතු උණාම තමයි ඒඩ්ස් වගේම තව ගොඩක් සමාජ රෝග බෝ වෙන්නෙ.. ඒකෙනුත් ගේ එවුන් කරන විදිහෙ එකතු වීමකින් ඒඩ්ස් බෝ වෙන්ඩ තියෙන චාන්ස් එක වැඩියි, සාමාන්‍ය ගෑනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි එකතු වෙන සාමාන්‍ය ක්‍රමේට වඩා.. ඉතින් ගේ උන්ට අනිවා කොන්ඩම් තියෙන්ඩ ඕනෙ"









"ඔය ගේ මලදාන වලින් ඒඩ්සුත් බෝ වෙනව නම් මොන මගුලටද යකෝ උන් ගේ වෙන්නෙ? උන්ට තිබ්බනෙ නෝමල් විදිහට කෙල්ලොත් එක්ක සෙට් වෙන්ඩ?"


"උඹ මගෙන් අහගන්ඩ එපා උඹේ නෝමල් කම ගැන මෙතන.. යකෝ ගේ හරි ලෙස්බියන් හරි වෙන එක ගොඩක් වෙලාවට එන්නෙ උපතින්මයි.. මිනිස්සුන්ට ලිංගික අවයව පිහිටල තිබ්බට විරුද්ධ ලිංගිකයො ගැන ආකර්ෂනයක් ඇති වෙන්ඩ මොලේ හෝර්මෝනත් බලපානව.. ඒ වගේම මොලේ එක එක කොටස්, ස්නායු පද්ධතිය සකස් වෙලා තියෙන හැටි.. ගේ, ලෙස්බියන් අයගෙ පැහැදිළිවම අනික් අයට වඩා ඒවගේ දේවල් වල උපතින් එන්ඩ පුළුවන් කියල හිතන වෙනස්කම් තියෙනව.. පොඩි කාලෙ ඉඳල ළමයින්ව හදන විදිහෙනුත් බලපෑම් ඇති වෙනව.. ගේ උන්ට ලෙස්බියන් උන්ට අනික් මිනිස්සු වගේ විරුද්ධ ලිංගිකයො කසාද බඳල ඉන්ඩ බැරි නෑ.. ඒත් එහෙම ඉන්දැද්දි ගොඩක් මානසික ගැටළු ඇති වෙනව.. ඒ හින්ද උන්ට උඹ හිතනව වගේ ගේ කම වෙනස් කරන්ඩ බෑ"


"අනික තමයි මතක තියා ගනින් ලෙස්බියන් අය අතරෙ ඒඩ්ස් බෝ වෙන්ඩ තීයෙන චාන්ස් එක සාමාන්‍ය කපල් එකකට වඩා හොඳටම අඩුයි කියන එකත්"



"ඒ කියන්නෙ ඕව උපතින් එන මානසික ලෙඩ? ඒකයි වෙනස් කරන්ඩ බැරි, එහෙමද? උඹ කිව්ව නේද අර මොලේ වෙනස් කියල උන්ගෙ? ඒ කියන්නෙ උන් මන්ද බුද්දිකයොද?"


"නෑ යකෝ.. අනික් උන්ට වඩා මානසික ප්‍රශ්න උන්ට තියෙනව තමයි.. ඒ වෙන මොකවත් නිසා නෙමෙයි.. සමාජෙන් උන්ව කොන් කරන එකයි අකමැත්තෙන් විරුද්ධ ලිංගික අය එක්ක ජීවත් වෙන්ඩ වෙන එකයි හින්ද.. උන් ගේ හරි ලෙස්බියන් හරි හින්ද මන්ද බුද්ධික නම්  උඹ වමතින් ලියන හින්දත් මන්ද බුද්ධික වෙන්ඩ ඕනෙ.. ඇයි උඹේ මොළේ වෙනස්නෙ"..  


"හරි, කොන්ඩම් දුන්න කියමුකො, මොන බම්බුවටද ජෙල් බෙදන්නෙ?.."

"මචන්, ගේ උන් එකතු වෙන විදිහෙදි සාමාන්‍ය විදිහට එකතු වෙනවට වඩා ඝර්ෂණය ගොඩක් වැඩියි.. උඹ ඒක දන්නව ඇතිනෙ.. කොන්ඩම් එකක් දාගෙන කරත් ප්‍රෙෂර් එකට කොන්ඩම් එක පුපුරන්ඩ පුළුවන්.. ඒ හින්ද තමයි ජෙල් එකක් ඕනෙ.. ඔය බෙදන ජෙල් ජාතිය වෙනුවට ඕනෙ නම් ගෙදර තියෙන පොල්තෙල්, ඔලිව් තෙල්, බේබි ඔයිල් එහෙම පාවිච්චි කළහැකි.. එහෙම තමයි මම හිතන්නෙ උන් කරල තියෙන්නෙ ඔය ජෙල් ජාතිය එන්ඩ කලින්.. ඒත් තෙල් ජාති වලින් රබර් කොන්ඩම් එකේ බිත්තිය ඉරෝඩ් වෙනවලු.. ඒ හින්දම ඒක පුපුරන්ඩ පුළුවන්ලු.. ඔය දැන් බෙදන එක වතුරෙ දිය වෙන ජෙල් එකක්.. ඒකෙ තෙල් නැහැ.. ඒ හින්ද කොන්ඩම් එක පුපුරල ඒඩ්ස් හැදෙන එක නවතිනව"


"ඔවු ඉතින් ඔය එන්ජීඕ මගුල් වලට හැම දේටම හේතුවක් තියෙනවනෙ.. උන් ඔය කරන්ඩ හදන්නෙ අපේ ජාතියෙ උන් බැඳල ළමයි හදන එක නවත්තල ජාතිය වඳ කරල දාන්ඩ මට පේන්නෙ"


"මචන්, මම කලිනුත් කිව්වනෙ.. ගේ, ලෙස්බියන් සීන් කොච්චර ප්‍රමෝට් කරත් නිකම් මිනිස්සු අළුතින් ගේ හරි ලෙස්බියන් හරි වෙන්නෙ නෑ කියල.. ඒක ගොඩක් වෙලාවට උපතින් හරි නැත්තම් ළමය වැඩෙන කාලෙදි තමයි තීරණය වෙන්නෙ.. යන්තම් හරි ගේ පැත්තට යන උන් සාමාන්‍යෙන් සමාජෙක ඉන්නෙ 10-12% විතර.. ඇත්තටම ගේ විදිහට ඉන්න උන් ඊට වඩා ගොඩක් අඩුයි.. ලෙස්බියන් උන් නම් ඉන්නෙ 2-3%ක් විතර.. ඒඩ්සුයි අනික් සමාජ රෝගයි පාලනය කරන්ඩ ඕනෙ නම් ගේ උන් නැහැයි කියල බොරුවට හිතාගෙන වැඩ කරල බෑනෙ.. උන් රටේ ඉන්න එක තමයි ඇත්ත තත්ත්වෙ.. ඒ හින්ද කරන මගුලක් උන්වත් සහභාගි කරවගන්ඩ වෙනව.. ගේ හරි ලෙස්බියන් හරි උනා කියල දරුවො නොහද ඉන්ඩ ඕනෙ නෑ.. කෘත්‍රිම ප්‍රජනන ක්‍රම ඕනෙ තරමට දියුණුයි දැන්.. එකම දේ සමාජෙ ඒව පිළිගන්ඩ අකමැති එක"






"හරි, එතකොට උඹ කියන්නෙ ගේ සීන් එක නෝමල් දෙයක් කියල.. එහෙනම් ඇයි ඉස්සර ඔහොම සීන් තිබ්බෙ නැත්තෙ? ඔය මගුල මිනිස්සුන්ගෙ ෆැන්ටසියක් නේද? සත්තු ඔය වගේ මළ විකාර කරන්නෙ නෑ නේද?"


"මචන් සිරා, උඹ එක්ක තරහක් නෑ.. ඒත් මචන්, මීට පස්සෙ මගෙ ලැපෙන් වැ__ බැලීම තහනම්.. මම අකමැතිම දෙයක් තමයි ඕක, අන්තිමේ කෙල්ලෙක් ලැප බලද්දි උඹ බලපුව ඔක්කොම කැචේ එකේ එනව.. උඹ අපතය වගේ ඒව වෝල්පේපර් එකටත් දානව.. උඹ නෙට් යනව නම් වැඩක් ඇති මගුලක් හොයපන්.. ගේ, ලෙස්බියන් සීන් ඉස්සර ඉඳන්ම තිබුන.. ග්‍රීසියෙ හිටපු මහා ඇලෙක්සැන්ඩර්, සොක්‍රටීස්, ඊජිප්තුවෙ සලදීන්, රෝමයෙ හිටපු හේඩ්‍රියන්, ජුලියස් සීසර්, ප්‍රසිද්ධ කලාකාරයෙක් වෙච්චි මයිකලැන්ජිලෝ, ස්වයංසිද්ද ජනනවාදය බොරු කරපු ෆ්‍රැන්සිස් බේකන්, එංගලන්තෙ ඈන් රැජින, ප්‍රශියාවෙ මහා ෆෙඩ්‍රික් රජ්ජුරුවො තව වාර්තා නොවෙච්චි කී කෝටියක් ඉන්ඩ ඇද්ද.. සමහරු එළි වෙයි කියල බයේ නොකිය ඉන්ඩ ඇති..


සත්ත්ව විශේෂ 300ක් සමලිංගික හැසිරීම් පෙන්නනව කියල හොයාගෙන තියෙනව.. ඇත්ත කතාව මිනිහත් සතෙක් තමයි, මහලොකු ඔලු ගෙඩියක් තිබ්බට.. එකම දේ උඹල වගේ උන් ඒ ඔළුවෙන් මහ විකාර දේවල් කල්පනා කරනව.. කරල රටේ නැති බහුභූත ඔළුවට දාගෙන ඒව අනුව අනික් උන්වත් මනින්ඩ යනව.. ගේ එවුන් දැක්කහම මළ පනින ඔය ලෙඩේට මචන් කියන්නෙ හෝමොෆෝබියා (Homophobia) කියල.. ඒක එන්නෙ ගේ හැඟීම් තියාගෙන ඒව යටපත් කරන් ඉන්න ඩයල් වලටත් අම්බානට එනව"

ඒ පාර නම් සිරාට ෆුල් මෝල් වගේ.. ලොවෙත් කියාගන්ඩ දෙයක් නැතුව ඥාව් වෙලා ඉන්නව.. කියපුව සැර වැඩිද මන්ද? මොනව උණත් ඌ හිත හොඳ එකා.. ඊයෙ රෑ ගත්තු ලාර්ජ් පීස එකට අද දිග ඇරල රුපියල් සීයක්ම දුන්න ශල්ලි ශල්ලි කියල නොබල.. 

"මචන්, ඊයෙ කාපු පීස එක තාම වැඩ වගේ.. ෆැබ් යන්ඩ ඕනෙ නෑ.. මම ඔෆිස් කැන්ටිමෙන් ශේප් වෙන්නම්.. හත හමාරයි.. මම යනව, පරක්කු උණා"
ඊට පස්සෙ බුවා "පචවිර"ක් ගෙනාපු කාලයක් මතක නෑ ආයුබොං

 *   පාඩම් කිරීමට යොදන කෙටි පදයකි
**  මෙහි එන සියළු පුද්ගල නාම මන: කල්පිත වේ
***මෙම සිල් පදය වෙන විදිහවල් වලට තෝරා ගන්න අය සිටිය හැකිය

 

Monday, December 19, 2011

ආදරණීය නිමාලි වෙතටයි.... By ඉසුරු චාමර සෝමවීර​

ආදරණීය නිමාලි වෙතටයි
2002. 2. 27
තෙරුවන් සරණයි !
ආදරණීය නිමාලි වෙතටයි,
මට වැරදූනා. නිමාලි, මට ඔයාට ආදරණීය නිමාලි කියලා ලියන්න අයිතියක් නැහැ. ඔයා දන්නවා ඇතිනෙ දැන් මම රස්සාවට යන්නෙ නැහැ. මේ දවස්වල අත මිට හරි හිඟයි. ඒත් මං හොඳින් ඉන්නවා. ජීවිතේ කවදාවත්ම නොදැනිච්ච නිරෝගීකමක් දැන් මට දැනෙනවා. ඔයත් හොඳින් ඇති කියලා හිතනවා. මං මේ ලියන්නෙ ගිගුම්ගෙ බෝඩිමේ ඉඳන්. එදා හවස ඔයා ගෙදරින් ගිය ගමන්ම වගේ මාත් ගෙදරින් ආවා. දොරේ යතුර අර අඹ ගහ මුල තියන බෝගන්විලා පෝච්චිය යට ඇති. ඒ ආපු ගමන් තාමත් මම ගිගුම්ගෙ බෝඩිමේ.
අම්මලා; අපේ අම්මලා, ඔයගොල්ලන්ගෙ අම්මලා, හැමෝම මාව හොයනවා ඇති. ඒත් කරන්න දෙයක් නැහැ. මට තීරණේකට එන්න, හිත හදා ගන්න ටික දවසක් ගියා. ඒකයි මම හැංගිලා හිටියෙ.
ඉතිං.....? කියන්න ගොඩක් දේවල් තියනවා. ඒත් ගිගුම්ගෙ මේස ලාච්චුවෙ තියෙන්නෙ කොළ බොහොම පොඩ්ඩයි. පුළුවන් තරම් කෙටියෙන් මම ලියන්නම්. මේ එක්කම අපේ ගෙදරටත් ලියුමක් ලියන්න ඕනෙ. එක අතකට මට තීරණය කරන්න දේකුත් නැහැ. හැමදේම ඔයාලා තීරණය කරලා, තීරණය වෙලා ඉවරනෙ. මට තියෙන්නෙ ඔළුව නමන්න විතරයි.



මං දන්නවා මේ ඔක්කොටම මුල අර රමණි කියන පරට්ටිගෙ කේළං. එක අතකට මං රමණි ගැන නරකෙට හිතන එක වැරදියි. මමයි එතන වැරදි. වැරැද්ද රමණිට කලින්, බොහොම කලින් ඔයාව කසාද බඳින්න කලින් ඒ දේවල් ඔයාට නොකියපු එකයි. රමණි ඔයාගෙ යාළුවා. එයා ඔයාට උදව් කළා. දැන් මට හිතෙනවා මට කියා ගන්න බැරුව තිබිච්ච ඒවා ඔයාට කියලා රමණි මටත් කළේ උදව්වක් කියලා. රමණි නිතරම ඔයාව හම්බවෙන්න එනවා ඇතිනෙ. කියන්න රමණිට මං බොහොම ස්තුතියි කිව්වා කියලා. දැන්නම් ඔයාට කියන්න රමණි ගාව ඒ තරං දෙයක් නැතුව ඇති. මං මෙහාට ආපු දා ඉඳලා ගිගුම් ඔෆිස් යන්නෙ කෝච්චියෙ නෙමේ.
මට ඔයා ගැන ලොකු දූකක් තියනවා. මගෙ අම්මා තාත්තා ගැන ලොකු දූකක් තියනවා. පපුවෙ ලොකු ගලක් හිරවෙලා වගේ වෙලාවකට මට දැනෙනවා. ඒත් මං දැන් මේ ගෙවන්නෙ මගෙ ජීවිතේ නිදහස්ම දවස්. මොකද මම දැන් මම ම නිසා. රමණි කිව්වට වැඩිය දේවල් , ඔයාට මං කිවයුතුව තිබුණු ඒත් නොකිව්ව දේවල් මම දැන් ඔයාට කියන්නම්. මං එහෙම කියන්නෙ ඒ දේවල් ඔයාට දැන ගැනීමේ අයිතියක් තියනවා කියලා මම විශ්වාස කරන නිසා. අනික මට තවදූරටත් මාව සැහැල්ලු කරගන්න උවමනා නිසා.
එදා හවස මං ගෙදරට ආපු ගමන්ම ඔයා මට දමලා ගැහුවෙ මං පිළිකුල්ම කරන වචනෙං. ඒකෙන් මාව රිද්දෝපු පළවෙනියා ඔයා නෙමේ. හැබැයි අන්තිමයත් ඔයා නොවෙන වග මම දන්නවා. එදා මම එනකොට දොරවල් ජනෙල් ඔක්කෙම වහලා තිබිච්ච නිසා මම හිතුවෙ ඔයා ඔෆිස් ඇරිලා ඇවිල්ලා නැතුව ඇති කියලා. ඒත් ඔයා අපේ කාමරේ ඇඳ උඩ කරුවලේම , සාරිය පිටින්ම , කොණ්ඩෙ කඩාගෙන , කොට්ටයක් තුරුල් කරන් ඉන්නවා දැක්කම මට තේරුණා කොතන හරි මොනවා හරි වැරුද්දක් සිද්ද වෙලා තියනවා කියලා .
"ponce....."
ඔයා ලිප්ස්ටික් බොඳ වෙච්ච ඔය ලස්සන තොල් උල් කරලා ගිරිය යටින් බළල් සද්දෙකින් කෑ ගැහුවා. මට හැම දෙයක්ම හොඳට තේරුණා.
මුලින්ම මට ඔය ජරා තුප්පහි වචනෙන් බැන්නෙ අපිට අටේ පංතියෙදි පී . ටී කරපු කුලරත්න සර් '' නිකං ponce කෙනෙක් වගේ නැතුව හොඳට අත උස්සලා බෝල් කරපං බුරුවො '' ක්රිකට් ප්රැක්ටිස් වලදි සර් මගෙ ඇඟට කඩන් පැන්නා. අපේ පංතියෙ හිටිය ක්රීඩා වලට අදක්ෂම ළමයා මම. ponce කියන වචනෙට මලලසේකර ඩික්ෂනරියෙ දීලා තියන තේරුම ගණිකාවන්ගෙන් යැපෙන්නා. එදා කුලරත්න සර් බැන්නට පස්සෙ මම මං අද තව වෙනකං බෝලයක්වත් බැට් එකක්වත් අතින් අල්ලලා නැහැ. එදායින් පස්සෙ පී. ටී තියන දවසට එක්කො මම ඉස්කෝලෙ යන්නෙ නැහැ. එක්කො මට පී. ටී පීරියඩ් එකේදි බඩේ අමාරු , ඔළුව කැක්කුම්, කලන්ත හැදෙනවා. අපේ පංතියෙ කොල්ලො මං දිහා බැලුවෙ බිඳෙන වීදූරු බඩුවක් දිහා බලනවා වගේ. සමහරවිට මං නැති තැන උං මට හිනා වෙන්න ඇති. මං බොහොම කීකරු නිෂ්ශබ්ද ළමයෙක් හින්දා, ගුරුවරුන්ගෙ සුරතලෙක් හින්දා උං මං දිහා බැලුවෙ උංගෙ ගොඩට අයිති නැති පිටස්තර සතෙක් දිහා බලන විදියට. මට ඉස්කෝලෙදි කවදාවත්ම කිසිම කිට්ටු යාලුවෙක් ඉඳලා නැහැ. සමහරුන්ට මාත් එක්ක යාලු වෙන්න ඕන වුනත් මම හැමෝවම ආශ්රය කලේ දූරක ඉඳන්. ඒක මං හිතලා කරපු දෙයක් නෙමේ ඉබේ වෙච්චි දෙයක්. දූරින් මං ආශ්රය කරපු උං මාව ආශ්රය කලේ ගෙදර වැඩ කොපි කර ගන්න. මං උංව ආශ්රය කලේ මං තනියම නෙමේ ඉන්නෙ කියලා අනිත් අයට අඟවන්න. මගෙ යාළුවො වුණේ පොත්. අයියලා හවසට වෙලේ ක්රිකට් ගහන්න සරුංගල් අරින්න යනකොට නංගිත් ඒ පස්සෙන් දූවනවා. ඒත් මං ඉරිදා පත්තර ටික ළඟට කරගෙන අකුරක් නෑර කියවනවා.
පුංචිම කාලෙ ඉඳලා මං දැනගෙන හිටියා මං අනිත් අයගෙන් වෙනස් කියලා. මොකක්ද ඒ වෙනස කියලා මට පැහැදිලි තේරුමක් තිබුණෙ නැහැ-----. ඒක කායික වෙනසක් නෙමේ කියන්න මම දැනගෙන හිටියා. තාත්තා තිරිකුණාමලේ ඉඳලා නිවාඩුවට ගෙදර ආවම මට වැඩිය හුරතල් කලේ අයියවයි නංගිවයි. '' මේකා හරි සෝමාරියිනෙ '' කියලා තාත්තා මං දිහා බැලුවෙ තෙම්ච්ච බළල් පැටියෙක් දිහා බලනවා වගේ.
මං නිතරම පොත් වලටම ඇලීගෙන ඉන්න නිසා අම්මා බය වුණේ මගෙ ඇස් දූර්වල වෙයි කියලා. මං පොත් කියවනකොට අම්මා මට තේ හදලා ළඟට ගෙනත් දෙනවා. එයා දැනං හිටියා මං වෙනස් කියලා. මට හොඳටම විශ්වාසයි අම්මා අයියටයි නංගිටයි දෙන්නාටම වඩා මට ආදරෙයි කියලා. ලොකු අම්මලගෙ, නැන්දලගෙ, මාමලගෙ ළමයි අතරෙ මං හරි විශේෂ වුණා. කවුරු හරි ළමයෙක් දඟ වැඩක් කලොත් වැඩිහිටියො කිව්වෙ '' බලන්න නුවන් පුතා, ඔය විසේ නතර කරලා එයා වගේ පාඩුවෙ පැත්තකට වෙලා ඉන්නවකො '' කියලා. ඒත් මං පාඩුවෙ ඉඳලා වින්ද ඒ හුදකලාවෙ වේදනාව කාටවත්ම තේරුණේ නැහැ. නෑදෑයන්ගෙ ළමයි මං දිහා බැලුවෙ සර්පයෙක් දිහා බලනවා වගේ හිරිකිතෙන්.
එක අතකට මේ පරණ යාං හෑලි ඔයාට වැඩක් නැතුව ඇති. ඒත් මං මේවා ඔයාට කියන්නම ඕනෙ. මුලින්ම මට ආදරයක් හිතුණෙ දහයෙ පංතියෙදි අපට සිංහල උගන්නපු සර් කෙනෙකුට. එයා උගන්නන්න පංතියට එනකොට මගෙ පපුව ගිඩි ගිඩි ගෑවා. ගෙදරදි පොත් කියවද්දි මට එයාව මැවිලා පෙනුනා. ඒ කාලෙ මම නිතරම දවල් හීන බැලුවා. ඒක කවුරුවත් නොදන්න ඒකපාර්ශවීය ආදරයක් . ගිගුම්ට වුණත් මං ඒ ගැන කිව්වෙ මේ ළඟදි. ඒ සර් අපිට ගණන් උගන්නපු කෙට්ටු කැත මිස් කෙනෙක්ව කසාද බැඳලා මාරුවක් අරන් එයාගෙ ගමට ගියා. මේවා කියවනකොට ඔයාගෙ මුණ අප්පිරියාවෙන් විරූපි වෙන හැටි මට පේනවා පේනවා වගේ.
මාත් ඒක පංතියෙ එකට හිටපු ළමයි කෙල්ලො ගැන උනන්දූ වෙනකොට, විභාග වලින් ලකුණු අඩුවෙන් ගන්නකොට මං ඒ හැමොටම වඩා ලකුණු අරගෙන විභාග පාස් කරගෙන කරගෙන ගියා. ඔයා විශ්වාස කරයිද මංදා ඒ ලෙවල් ක්ලාස් එකේදි මාත් කෙල්ලෙක් එක්ක යාළු වුණා. හරියටම කිව්වොත් ඒකි මගෙත් එක්ක බලෙන් යාළු වුණා. ඒ දීපිකා. ඒ කාලෙ මම මම කවුද කියලා තේරුම් අරන් හිටියෙ. ඒත් මම එයත් එක්ක යාළු වුණා. ඇත්තටම කිව්වොත් ඒක වටේ පිටේ අයට පේන්න කරපු ප්රදර්ශනාත්මක ආදරයක්. ඒකි ආදරේ කලේ මට නෙමේ ඉස්කෝලෙ මට තිබිච්ච පිළිගැනීමට. මං ආදරේ කලෙත් ඒකිට නෙමේ ඒකි මාත් එක්ක ගැවසෙනකොට වට පිට අය දකින දේට. ඒකට මොකක්ද කියන වචනෙ ? අපේ සම්බන්දෙ ගැන ඉස්කෝලෙ හුඟක් දෙනා පුදූම වුණා. ඒකිත් එක්ක තනි වුණාම මට කතා කරන්න දෙයක් තිබුණෙ නෑ. මම කියෙව්වෙ මං කියවපු පොත් ගැන මට හිතෙන දේවල්. ඒකිට ඒවා තේරුණාද මම දන්නෙ නැහැ. ඒකි ඇස් දිලිසෝ දිලිසෝ මං දිහා බලන් හිටියෙ . හිටපු ගමන් මගෙ අත් වලින් අල්ලගෙන ඇස් වලට එබුණා. මං කවදාවත්ම ඒකිට ''මං ඔයාට ආදරෙයි ''කියලා නැහැ . අන්තිමට ඒකිත් ඔයා වගේ භූමි කම්පාවක් ඇති කරලා ගියා. මම එදා එයත් එක්ක කියව කියව හිටියෙ මං කියවපු රුසියන් කෙටි කතාවක් ගැන. එයා හොඳට ඒවා අහගෙන හිටියෙ වෙනදටත් වැඩිය උනන්දූවෙන්. අපි එදා හිටියෙ ඉස්කෝලෙ පිට්ටනිය අයිනෙ අරලිය ගහක් යට. එකපාරටම දීපිකා මගෙ අත ඇල්ලුවා, ආයිත් අත ගසලා දැම්මා. ගස්සලා යන්න ගියා. එච්චරම තමා. පස්සෙ ඒකි අපේ පංතියෙම වෙන කොල්ලෙක් එක්ක යාළු වුණා. ඒත් ඉන්පස්සෙ ඒකි මං ගැනවත් අපේ සම්බන්දෙ ගැනවත් කිසිම කෙනෙක් එක්ක කිසිම දෙයක් කියලා තිබුණෙ නැහැ. ඒ කාලෙ වෙනකොට මට ඉගෙන ගන්නත් එච්චර උනන්දූවක් තිබුණෙ නැහැ. මං දැනං හිටියා මාව විභාගෙන් පාස් වෙන බව. මං ඔහෙ අතට අහුවෙන පොත් කියව කියව හිටියා.
දීපිකා ඈත් වුණාට පස්සෙ මට තව කෙල්ලෙක් එක්ක යාළු වෙන්න වුවමනා වුණේ නැහැ. මට ඕනෙ වුනේ මම ම වෙන්න. මං ඒ දවස් වල පත්තරවල ගැටළු තීර වලට බොරු නම් ගම් එක්ක මගෙ ගැටළුව ලියලා දානවා. එක දොස්තර කෙනෙක් කියලා තිබුණෙ කළල අවධියෙ අම්මගෙ ගර්භාෂෙ ඇන්ඩ්රොජන් සාන්ද්රනය අඩු වුනාම උපදින ළමයි පස්සෙ කාලෙක තමන්ගෙම ලිංගෙ අයට ආකර්ෂණය වෙනවා කියලා. තව කෙනෙක් මේක ජාන වලින් එන දෙයක් ය , තවත් දොස්තර කෙනෙක් මේක පෞරැෂ වර්ධනයෙ ප්රශ්නයක්ය වගේ උත්තර දීලා තිබුණා. හැබැයි මේ හැම කෙනාගෙම උත්තරය වුණේ මේක ලංකාවෙ සංස්කෘතියට ගැලපෙන්නෙ නෑය, එහෙම නැත්තං මේ ගතිය පස්සෙ ඇරේවිය, අනවශ්ය දේවල් හිතන්නෙ නැතුව අධ්යාපනයට හිත යොදවන්නය, කසාදයක් බැන්දහම හරියා ය වගේ අදහසක් . දෙයියනේ තමන්ගෙ අවශ්යතාවය අනවශ්යය දෙයක් වෙන්නෙ කොහොමද?
ඒ ලෙවල් ඉවර වෙචිච ගමන්ම මට කච්චේරියෙ රස්සාව හම්බ වුණා. ඒකට ගොඩක් උදව් කලේ තාත්තගෙ යාළුවා පෙරේරා අංකල්. ඒ දවස් වල මං සෑහෙන්න ඇවිස්සිලා හිටියෙ. බස් එකේ , කෝච්චියෙ, පාරෙ ඔය කොහෙදි හරි වුණත් මං කැමති විදියෙ පිරිමියෙක් දැක්කම මාව ගිනි ගත්තා. සමහර මිනිස්සුත් එක්ක මං අනවශ්ය විදියට හිනා වෙනකොට, මුණ දිහා බලා ඉන්නකොට ඒ අය අපහසුතාවයට පත් වෙලා අහක බැලුවා. සමහරු මහ කැත විදියට කටවල් හදලා හිනා වුණා. දවසක් නුගේගොඩදි . . . . . එක අතකට මේවා ඔයාට කියන එක තේරුමක් නැති වැඩක්. ගොඩක් වෙලාවට ඔයා මේවා තේරුම් ගන්න එකකුත් නැහැ.
මං රස්සාවට යන්න අරන් මාස හයකට විතර පස්සෙ තමයි ගිගුම්ව හම්බ වුණේ. ඔෆිස් යද්දි කෝච්චියෙදි තමයි මම ගිගුම්ව මුලින්ම දැක්කෙ . මතකද ඔයාව බලන්න මං අම්මලත් එක්ක ඔයාලගෙ ගෙදර ආපු දවස ? එදා ඔයා මාව දැකලා ඔයාට හිතිච්ච දේවල් පස්සෙ දවසක මට විස්තර කලා. ඒ වගේ දෙයක් තමා ගිගුම්ව දැක්කම මටත් දැනුනෙ. ගිගුම් ගියෙත් මං ගිය කෝච්චි පෙට්ටියෙමයි. එයා කෝච්චියට අළුත්. මුල් දවස් වල අපි හිනා වුණා විතරයි. එයාගෙ හිනාව හරි ලස්සනයි. පස්සෙ පස්සෙ අපි පොඩි පොඩි දේවල් ගැන කතා බහ කලා. කෝච්චියෙ තද බදේ ගැන, වැස්ස ගැන, ඡන්දෙ ගැන. එයයි මමයි හොඳ යාළුවො වුණා. එයා කෝච්චියට නැග්ගෙ මම නැගලා ස්ටේෂන් දෙකකට විතර පස්සෙ තියන ස්ටේෂන් එකකින්. මම හැමදාම එයා කෝච්චියට නඟිනකං බලන් ඉන්න පුරුදු වුණා. එයත් නඟින්න කලින්ම බෙල්ල දික් කර කර මං ඉන්නවද බැලුවා. අපි හැමදාම ගියෙ හිටගෙන. හවසට එනකොට එයා ආවෙ පහයි පහේ කෝච්චියෙ. මම ආවෙ පහයි හතලිස් පහේ එකේ. ටික දවසකින් එයා මාත් එක්කම යන්න පහයි හතලිස් පහ වෙනකං කොටුවෙ ස්ටේෂන් එකේ ඉන්න පුරුදු වුණා. අපි බංකුවක් උඩ ඉඳන් එකිනෙකා දිහා බලන් හිටියා. මොන්ටිසෝරි යන ළමයි වගේ අත් වැල් පටලගෙන ඉවරයක් නැතුව චුරු චුරු ගගා කතා කලා. එයා නිවාඩු දාලා ගමේ ගිය දවසට මට මහ සොහොන් පාළුවක් දැනුනා. මං හැමදාම රැට නිදා ගත්තෙ ගිගුම් ගැන හිත හිත. උදේට නැගිට්ටෙත් එයා ගැන හිත හිත. මම දැකපු සමහර හීන වල එයයි මමයි එක එක දේවල් කලා. ගැස්සිලා ඇහැරුනාම මගෙ සරම තෙත් වෙලා තිබුණා. එයාගෙ අත අල්ලලා තියනවා ඇරෙන්න ඊට එහා දේකට ඒ වෙනකන් කවදාවත් මම ගිහින් තිබුණෙ නැහැ. ඒ වෙනකොට මටත් දරා ගන්න බැරි තරමට මම එයාට ආදරේ වෙලයි හිටියෙ. මට බය හිතුණා එයාට ඒක තේරිලා මාව දාලා යයි කියලා. ඒත් පපුව පිරෙන්න මං එයාට ආදරෙයි කියලා කියා ගන්නත් මට ඕනෙ කම තිබුණා. මට දැනුනා එයා අනිත් අයට වඩා වෙනස් සුවිශේෂ මනුස්සයෙක් කියලා. ඒත් දෙයියනේ මිනිහෙක් කොහොමද කටක් ඇරලා තව මිනිහෙකුට ආදරෙයි කියන්නෙ.
එක සිකුරාදාවක ගිගුම් මට ෆිල්ම් එකක් බලන්න යන්න කතා කලා. අපි ගියෙ සෙනසුරාදා. ෆිල්ම් හෝල් එකේ ලයිටි ඕෆ් කලාම මම සැරින් සැරේ එයා දිහා බැලුවා. එයත් මගෙ දිහා හොරෙන් හොරෙන් බලනවා මම දැක්කා. කළුවරේ එයාගෙ ඇස් දිලිසුනා. මට දැනුනා එයාගෙ අත මගෙ අතේ ගෑවෙනවා. මම මගෙ අත තව ටිකක් කිට්ටු කලා. එයා මගෙ දිහා බලලා හිනා වුණා හරියට හොර වැඩක් අහු වුණා වගේ. ඉස්සෙල්ලා එයාගෙ අත ඇල්ලුවෙ මම ද මගෙ අත ඇල්ලුවෙ එයාද කියලා අදටත් සමහර වෙලාවට මම හිතනවා. ටික වෙලාවකින් එයාගෙ අත මම සිනිඳුවට අත ගාමින් උන්නා. ටිකකින් හෝල් එකේ ලයිට් පත්තු වුණා. එයා මට මූණ දෙන්න බැරුව වගේ අහක බලා ගත්තා. මං අපි දෙන්නටම අයිස් චොක්ස් ගෙනාවා. මගෙ හිත ඇතුලෙ මහා කුණාටු දහස් ගාණක් හමම්න් තිබුණා. ඒක දරා ගන්න අමාරු සතුට කලවම් වෙච්ච සංකීර්ණ හැඟීමක්. අපි දෙන්නම නාඳුනන දෙන්නෙක් වගේ කතා බහක් නැතුව අයිස් චොක්ස් කෑවා. ආයිත් ලයිට් ඕෆ් කලාම ඉක්මන් වුණේ මමයි. මම එයාගෙ අතක් අරන් මගෙ අත් අතර තියලා මිරිකුවා. පස්සෙ මම ඒ අත සිනිඳුවට ආදරෙන් අත ගෑවා. මාව ගිනියම් වෙලා හිටියෙ. ඒක අමුතුම මත් ගතියක්. එයා සැරින් සැරේ මගේ දිහා බලලා යන්තමට හිනා වුණා. ෆිල්ම් එක ඉවර වෙනකොට අපි දෙන්නට දෙන්නා කවුද කියලා දන්නවා. හැබැයි ෆිල්ම් එකේ මොනවා තිබුණද කියන්න දෙන්නටම මතක නැහැ.


එදා මට දැනිච්ච නිදහස මහ පුදුම එකක්. ඒක නිකං හරියට අවුරුදු ගාණක් කූඩු කරලා හිටපු කැළෑ සතෙක් ආපහු කැළේට නිදහස් කරපුවාම ඌට දැනෙන හැඟීම වගේ එකක් . ඒක මහ පුදුම හැඟීමක් නිමාලි. අපි ෆිල්ම් එක ඉවර වෙලා කරුවල වැටෙන කල්ම ඔහෙ පාරවල් දිගේ ඇවිද්දා. හේතුවක් නැතුව හයියෙන් හිනා වුණා. ඇත්තටම අපි පියාඹමින් හිටියෙ. දකින මිනිස්සු හිතන්න ඇති අපිට පිස්සු කියලා.
මං සමහර සති අන්ත වල ගිගුම්ගෙ බෝඩිමට යන්න පුරුදු වුණා. ඒත් ගිගුම් කවදාවත්ම අපේ ගෙදර ආවෙ නැහැ. එයා එහෙම එනවට මම කැමති වුණෙත් නැහැ . ඒවා හුඟාක් ලස්සන දවස්. අපි පොඩි පොඩි ට්රිප් ගියා. සීගිරිය, පාසිකුඩා, ලෝකාන්තෙ වගේ තැන් වලට ගිහින් ලාබ හෝටල් කාමර වල නැවතුණා. නිවාඩු දවස් වලත් මම ගෙදර නැති වුණාම අම්මලා හිතුවෙ මං ගෑනු ළමයෙක්ව යාළු කරගෙන කියලා. මහ රැටත් මගෙ ෆෝන් එකට කෝල්ස් එස් එම් එස් එනකොට අම්මා අහනවා කවුද ළමයො ඔය හැටි කතා කරන්නෙ කියලා. යාළුවන්ගෙන් කියලා කියනකොට එයාගෙ නළල රැළි වෙන හැටි මම දකිනවා. මෙච්චර කල් හිටපු නැති යාළුවො එක පාරටම කොහෙන් පහළ වුණා ද කියලා එයා හිතන්න ඇති. දවසක් රෑක මං අහගෙන තාත්තා අම්මට කියනවා '' පුතාට මොකක් හරි හරි ගිහිල්ල වගේ, අහලා බලනවා'' කියලා. තාත්තා හිතාගෙන හිටියෙ මම අයියා වගේ නෙවෙයි බොහොම හිතල මතල වැඩ කරන කෙනෙක් කියලා. ඔය කාලෙ අයියා ගෙදරට හොරෙන් නිලු අක්කව කසාද බැඳපු අලුත. අයියගෙ හරි නිලු අක්කගෙ හරි නම ඇහුනත් ඇති තාත්තට පරල වෙන්න. නංගිගෙයි ප්රියන්තගෙයි පටලැවිල්ලත් ඔය දවස් වල තිබුණා. දැන් තාත්තයි ප්රියන්තයි කිරියි පැණියි වගේ වුණාට ඒ දවස් වල නයයි පොළඟයි වගේ. ඉතිං තාත්තා මං ගැන කප්පරක් බලාපොරොත්තු තියං හිටියා.
දවසක් දා හවසක අම්මා මගෙන් මගෙ ගෑනු ළමයා ගැන ඇහුවා. මම ගත් කටටම එහෙම දෙයක් නෑ කිව්වම අම්මා හොඳටම පුදුම වුණා. තාත්තට ඕනෙ වුණා මාව ඉක්මනටම බන්දන්න. අම්මලා මගෙන් අහන්නෙත් නැතුව ඒ දවස් වල මට මඟුල් හොයන්න පටන් ගත්තා. ඒ වෙනකොට මගෙයි ගිගුම්ගෙයි ආශ්රයට අවුරුදු හතරක් විතර ඇති . ඉරිදා පත්තර වල මංගල දැන්වීම් කියවන එක අම්මගෙ විනෝදාංශයක් වගේ වුණා. තව කපු ගෑනු දෙතුන් දෙනෙකුටත් අම්මලා ලේලියක් හොයන වැඩේ පවරලා තිබුණා. මම ගිගුම්ට මේවා කිව්වම එයා කිව්වෙ ඔයාට හරියි කියලා හිතෙන විදියට වැඩ කරන්න කියලා. මට එයාගෙ බෙල්ල මිරිකන්න තරම් කේන්තියක් ආවා. අපි මෙච්චර අවුරුදු ගාණක් ආශ්රය කලේ ඔය ටික අහගන්නද ? ඒ වෙනකොට මගෙ ඔළුවෙ හිටියෙ ගිගුම් විතරමයි. මං හිතුවෙ එයා මට '' අපි දෙන්නා මේ වගේ දේවල් නීතියෙන් පිළිගන්න රටකට යමු , එහෙම නැත්තන් අපි දුර පළාතකට පැනලා යමු '' වගේ උත්තරයක් දෙයි කියලයි . මං එහෙම හිතුවෙ එක පැත්තක් අමතකම කරලා දාලයි. ගිගුම්ගෙ පවුලෙ හිටියෙ ගිගුම් විතරමයි. එයාගෙ අම්මවයි තාත්තවයි බලා කියා ගැනීමේ වගකීම එයාට තිබුණා. වෙන රටකට ගිහින් අපි ජීවත් වෙන්නෙ කොහොමද?, යන්න වීසා ගන්නෙ කොහොමද ? යන්න සල්ලි දෙන්නෙ කවුද ? දුර පළාතකට පැනලා ගියොත් අපි ජීවත් වෙන්නෙ කොහොමද? කොහෙද? ඒ වගේ දේවල් ඒ දවස් වල මගෙ මෝඩ ඔළුවට ආවෙ නැහැ. මං හිතුවෙ මං ගැන විතරමයි. මට ඕනෙ වුණේ සදහටම ගිගුම්ව තුරුල් කරන් ඉන්න විතරමයි. ගිගුමුයි මමයි වයසට ගිහිල්ලා පරණ දේවල් කතා කර කර ඉන්න දවසක් ගැන හීන මැව්වා. මට ගිගුම්ගෙ උරිස්සෙ ඔළුව ගහගෙන අඬන්න ඕනෙ වුණා. ඒත් මම එහෙම කළේ නැහැ මගෙ තියන උද්දච්ච කමට.
අම්මලගෙ බල කිරිල්ලට මම ගියා මනමාලියො හත් අට දෙනෙක් බලන්න . ඒ හැමෝවම ප්රතික්ෂේප කරන්න හේතු මං හොයා ගත්තා. ඒ වැඩි දෙනා ඉරිදා පත්තර මනමාලියො. අන්තිමට මං ආවෙ ඔයාව බලන්න. ඔයාවත් එහෙම ප්රතික්ෂේප කළා නං කියලා පස්සෙ මට හිතිච්ච වාර අනන්තයි. ඒ වෙනකොට මට ගිගුම්ගෙ දෙපැත්තට වැනෙන කතා එපා වෙලයි තිබුණෙ. මට මගෙ අම්මයි තාත්තයි ගැනත් ලොකු දුකක් තිබුණා. ඒ අයට අයියවයි නංගිවයි දෙන්නම අහිමි වෙලා හිටියෙ. අයියා නිලු අක්කත් එක්ක ඇනෙක්ස් එකක් අරන් හිටියා. නංගි හිටියෙ ප්රියන්තලගෙ ගෙදර. තාත්තා පොඩි ළමයෙක් වගේ අසරණ වෙලා හිටියා. මාවත් එයාලට අහිමි වුනොත්, අම්මෙකුට තාත්තෙකුට විඳින්න බැරි තරම් ලොකු නින්දාවක් මං නිසා එයාලට විඳින්න වුනොත්. ඒක මහ පවක් කියලා මට හිතුණා. අන්තිමට මම අම්මලත් එක්ක ඔයාව බලන්න ආවා. අම්මලා කැමතිනම් මම ඔයා බඳිනවා කියලා ඔයාව දකින්නත් කලින් තීරණය කරන් හිටියෙ. ඔයා හෙප්පුවක් අරන් ලැසි ගමනෙන් මගෙ ඉස්සරහට ඇවිත් ලාවට හිනා වෙලා ඇස් කොනෙන් මගෙ දිහා බැලුවා. ගෙදර ඇවිත් හරි සීදේවි කෙළි පැටික්කි කියලා අම්මයි තාත්තයි ඔයා ගැන කතා වුණා. එතනින් පස්සෙ වෙච්ච හැම දේම ඔයා දන්නවනෙ, ඔයා මට සාප කරයි. ඒත් මම ඇත්ත කියන්න ඕනෙ. ඔයාගෙ කිසිම ලස්සනක් මම දැක්කෙ නැහැ. මම ඒ තකතීරු තීරණේ ගත්තෙ මං වෙනුවෙන් නෙමේ මගෙ දෙමව්පියො වෙනුවෙන්.
ගිගුම්ට මම බඳින බව කියන්න ගියාම එයා ඇහුවෙ '' හොඳට හිතලද තීරණේ ගත්තෙ '' කියලා විතරයි. මං බලාපොරොත්තු වුණා ගිගුම් අඬයි කියලා. ඒත් එයා ඇඬුවෙ නැහැ. මං එන්න හදනකොට ගිගුම්ට කතා කර ගන්න බැරි වුණා එයාගෙ යටි තොල වෙව්ලුවා. ඒත් එයා ඇඬුවෙ නැහැ. අමාරුවෙන් මවා ගත්ත හිනාවක් පෙන්නුවා. ගිගුම් ඒ වෙලාවෙ ඇඬුවා නම් මේ හැම දේම මෙයිට වැඩිය වෙනස් විදියකට ඉවර වෙන්න තිබුණා. '' අපි ආයෙ මුණ නොගැහි ඉමු'' කියලා එයා කිව්වා. මම ගෙදර ආවෙ මළ මිනියක් වගේ. ඇවිත් කාමරේ දොර වහගෙන පැය ගාණක් ඇඬුවා. ඊට පස්සෙ මට පොඩි සහනයක් දැනුනා. මම කෝච්චියෙ නොගිහින් බස් එකෙන් ඔෆිස් යන්න පටන් ගත්තා.





ඔයත් එක්ක රත්තරන් බඩු තෝරන්න, සාරි තොරන්න ගියාට මං හිටියෙ රොබෝ කෙනෙක් වගේ. මාව ඇතුලෙන් මැරිලා හිටියෙ. අපේ වෙඩින් එක දවසෙ වෙච්ච කිසි දෙයක් මට මතක නැහැ. ඒක නපුරු හීනයක් වගේ. එදා කිතුල්ගල හෝටලේදි ඔයා ඇඳේ මුල්ලක වාඩිවෙලා ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි ඉන්නකොට මට අපි දෙන්නා ගැනම ඇති වුණේ ලොකු දුකක් . මම ඔයත් එක්ක ඉන්නකොට ඇස් පියාගෙන ගිගුම්ව මවා ගන්නවා. ඒත් ඒක හරි අසාර්ථකයි. ඔයා ගිගුම් නෙමේ, මට ඔයත් එක්ක හිටපු හැම දවසක්ම මහ විකාර හිරිකිත දවස්. අපේ ගෙදර ඉන්න බැහැ වෙනම ගේකට යමු කිව්වම, දැන්ම බබෙක් හදන්න බැහැ අවුරුද්දක් දෙකක් ඉමු කිව්වම, බස් එකේ වැඩට යන්න බැහැ වෑන් එකකට දාන්න කිව්වම, දෙපාරක් හිතන්නෙ නැතිව මම කැමති වුණා, ඒ මං ඔයා ගැන දුක් වුනු නිසා.ඔයා උගුලක අහුවෙච්ච කෙනෙක් නිසා. ඒ උගුල ඇටෙව්වෙ කවුද? මම ද? මගෙ දෙමව්පියො ද? කවුද? අනේ මංදා. '' මොකද ඔයා මං කියන හැම දෙයක්ම හොයන්නෙ බලන්නෙ නැතුව හා කියලා කරන්නෙ....?'' දවසක් රෑක ඔයා කොණඩෙ පීර පීර ඇහුවා. මගෙ ඔළුව අවුල් වුණා. ඇත්තටම මම දැනගෙන හිටියෙ නැහැ ගෑනියෙකුට ඕනෙ කරන්නෙ කරන කරන දේට එපා කියන පිරිමියෙක් කියලා.
ඔයාගෙ ඔළුවෙ ඉන්න පිරිමියා විදියට හැඩ ගැහෙන්න කොච්චර උත්සහ කළත් මට බැරි වුණා. හැමදාටම ජීවිතේ පුරාවටම ගෑනියෙක් එක්ක ඉන්න වෙලා තියනවා කියලා හිතුණම මට තද හිසරදයක් වගේ වුණා. ඒ දවස් වල ඔයා රෑට දුහුල් නයිටියක් ඇඳන් මගෙ වටේ හොර ගල් අහුලනකොට, එක එක කෑම ජාති හදලා කන්න කියලා මට බල කරනකොට මට ඔයාව මහ විකාරයක් වුණා. ''මට කරදර නොකර යනවා ඕයි'' කියලා එලව ගන්නවද ඔයාගෙ තොඳොල් වැඩ වලට එකතු වෙලා ඔයත් එක්ක හුරතල් වෙනවද කියලා මට හිතා ගන්න බැරි වුණා. මට ඔනෙ වුනේ ඔයාගෙන් හැංගෙන්නයි. මම පුළුවන් තරම් උදෙන් ඔෆිස් ගියා. පුළුවන් තරම් රෑ වෙලා ගෙදර ආවා. ගෙදර ඉන්න වෙලාවට පොතක් පත්තරයක් අරන් පැත්තකට වුනා. මං හිතන්නෙ ඔයාට මාව එපා වෙන්න ඇති. මට නං ඒක කල් කදුරු වගේ තිත්ත ජීවිතයක්.



ඔයා වුනත් පිළිගන්නවා ඇති කාට වංක වුනත් තමන්ගෙ හිතට වංක වෙන්න බෑ කියලා. ඒත් මං එහෙම පුළුවන් කියලා මගෙ හිතට ඒත්තු ගන්නව ගන්න හැදුවට මටත් ඒක කරන්න බැරි වුණා. ඔයාට මතකද එක ඉරිදාවක ඔයා ඔයාලගෙ මහ ගෙදර යන්න මට කතා කලා. ඔයාට ඕනෙ කලේ මාත් එක්ක සාප්පු ගානෙ යන්න, ඔයාගෙ ගෙදර අය ඉස්සරහා මාත් එක්ක හුරතල් වෙන්න. ඔයාගෙ අයියලත් එක්ක මම බොනවා බලන්න. එයාල දෙපිට කැපෙන කතා කියනකොට හීන් බළල් සද්දෙකින් හිනා වෙන්න. ඒත් මට ඒ දේවල් තිත්තයි නිමාලි. ඔයාට දැන්වත් මම කියන දේවල් තේරෙනවද? තේරෙන එකක් නැහැ. ඒ ඔයා ඔයාම නිසා. එදා මං කිව්වා මට ඔෆිස් එකේ හදිසි වැඩක් ඔෆිස් යන්න ඕනෙ කියලා. මං බොරු කියනවා කියලා ඔයා ඇඬුවා. මං ලෑස්ති වෙලා යන්න ගියා. ඇත්ත තමයි මම එදා ඔයාට කිව්වෙ බොරු. මට යන්න තැනක් තිබුණෙ නැහැ. මගෙ ඔළුව ගිනි අරන් තිබුණෙ. මං ඔහේ බස් වල නැගලා ගියා. මගදි මට හිතුණා ගිගුම්ව බලන්න යන්න.
මං එහෙ ගියෙ මාත් එක්කම යුද්ද කර කර. ගිගුම් බෝඩිමේ හිටියා. එයා ඇහුවෙ නෑ ඇයි ආපහු ආවෙ කියලා. එයා මාව ඇල්ලුවෙ නැහැ. දුරින් ඉඳන් ඔහෙ බලා හිටියා. මම එයා ළඟට ගිහින් එයාගෙ කර වටේ අත දැම්මම හැමදේම ලේසියෙන් පරණ තත්වෙට ආවා. එ් මං ආදරේ කරපු පරණ ගිගුම් ම යි. ගිගුම් මං එයාව දාලා ගියාට පස්සෙ තිබිචිච සම්බන්ධතා දෙකක් ගැන පාපොච්ජාරණය කලා. ඒවා නිකං ලිංගික සම්බන්ධතා. එයින් එකක් නතර වෙලා. අනිත් එක ගැනත් එයා හිටියෙ ලොකු කලකිරීමක. ආයෙමත් හැම දේම හොඳ වුණා. අපි එකට කෝච්චියෙ ගියා . සති අන්ත වලදි මුණ ගැහුනා. නිමාලි ඒ කාලෙ මම ඔයත් එක්කත් සතුටෙන් හිටියා. ඒක ලොකු බරක් ඔළුව උඩ තියාගත්තු සැහැල්ලුවක්.



කෝච්චියෙ යන අය අතරෙ ගිගුම් ගැනයි මං ගැනයි එක එක කටකතා තිබුණු බව අපි දෙන්නම දැනගෙන හිටියා. සමහරු අපිත් එක්ක කටපුරා හිනා වෙලා ආයි අපිටම ඇහෙන්න සමච්චල් කතා කිව්වා. රමණිත් එහෙම කියපු කෙනෙක්. මං දැනං හිටියෙ නෑ රමණි ඔයාගෙ යාළුවෙක් කියලා. අපේ තාත්තා ලෙඩ වෙච්චි දවස් වල මම දවස් ගාණක් නිවාඩු දැම්මා ඔයාට මතකනෙ. ඒ දවසක රමණි ගිගුම්ගෙන් අහල තියනවා '' ඇයි ඔයාගෙ බෝයි ෆ්රෙන්ඩ්ට වෙන කොල්ලෙක් සෙට් වෙලාද දැන් දකින්න නැත්තෙ '' කියලා. ගිගුම්ට හොඳටම තරහ ගිහින් රමණිට බැනලා. මම කවදාවත් හිතුවෙ නෑ මේවා මෙච්චර ඉක්මනට ඔයාගෙ කණට යයි කියලා. ඒත් දැන් ඒක වෙලා ඉවරයි.
තවදුරටත් මට ඔයත් එක්ක පවුල් කෑමේ වුවමනාවක් නැහැ. දැන් මටත් කලින් අනිවාර්යයෙන් ඔයා ඒ තීරණේ අරන් ඇති. '' ද්වේෂ සහගත ලෙස අතහැරයාම '' හරි '' ලිංගික අකර්මන්යතාව '' හරි වෙන මොන කෙහෙල්මලක් යටතේ හරි මට විරුද්ධව දික්කසාද නඩුවක් දාන්න. දැන් තියන තත්ත්වෙ උඩ මට චුදිතයා මිසක් පැමිණිලිකාරයා වෙන්න බැහැනෙ. ( මේ ලියුමත් ඔයාට වටිනා සාක්ෂියක් විදියට පාවිච්චි කරන්න පුළුවන් ) හොඳ වෙලාවට අපි බබෙක් හදන වැඩේ කල් දැම්මෙ. නැත්තන් අපේ ප්රශ්න වලට අසරණ කිරිසප්පයෙකුටත් වන්දි ගෙවන්න වෙනවා. අපි හිටපු ගේ ගන්න මං ගත්ත ණය තව අවුරුදු බර ගාණක් ගෙවෙන්න තියනවා. ඒක මම කොහොම හරි ගෙවන්නම්. ඒ ගේත් ඔයාගෙ නමට ලියන්නම්. ඔයා තාම හුඟක් තරුණයි. අලුත් ජීවිතයක් පටන් ගන්න තවම පරක්කු නැහැ. එහෙම කියලා මම ඔයාගෙ ජීවිතේට කරපු වැරැද්ද අඩු වෙන්නෙ නැහැ. ඒත් මට කරන්න පුළුවන් එච්චරයි.
මම ඔයාගෙනුයි, ඔයාගෙ දෙමව්පියන්ගෙනුයි සමාව ඉල්ලනවා මගෙන් වෙච්චි මේ දරුණු වැරැද්දට. හැබැයි මේ වෙච්චි දේවල් ගැන මම පසුතැවෙන්නෙ නැහැ. පසුතැවෙන්නෙ මං කසාද බැඳපු එක ගැන විතරයි. දැන් මට ආයි ඔෆිස් යන්න බැහැ. මේවා ලැව් ගිනි වගේ පැතිරිලා ඇති. ගිගුම් නම් තාම ඔෆිස් යනවා. මට බය එයාටත් ඔෆිස් යන්න බැරිවෙයි කියලා. ඉතිං නිමාලි ? මේක මේ ප්රශ්නෙ විසඳන්න තියන හොඳම විදිය නේද?
දැන් මට මහා සැහැල්ලුවක් දැනෙනවා. ගිගුම්ගෙ බෝඩිමෙත් මම වැඩි දවසක් ඉන්න බලාපොරොත්තුවක් නැහැ. ඇයි මම කාටවත් බරක් වෙන්නෙ ? ගිගුම්ටත් එයාගෙම කියලා ලෝකයක් ඇති. මං එයාට හුඟාක් ආදරෙයි. එයත් මට ආදරෙයි. ඒත් ආදරේ විතරක්ම තිබිලා මදි ජීවත් වෙන්න.
මම ඔයාගෙන් ඉල්ලන ලොකුම උදව්ව දික්කසාදෙ වැඩේ ඉක්මනට කරන්න කියන එක. එහෙනම් මම නවතින්නම්. ඔයාට තෙරුවන් සරණෙන්, දෙවි පිහිටෙන් හොඳ අනාගතයක් ලැබෙන්න කියලා මම ප්රාර්ථනා කරනවා.
මම ඔයාගෙ විශ්වාසය කැඩු ,
නුවන්
ප. ලි.
දෙමටගොඩ සිරිවර්ධන මහත්තයා දික්කසාද නඩු වලට හොඳයිලු. ගාණත් අඩුයිලු. නඩු කල් දාන්නෙ නැතුව ඉක්මනට ඉවර කරනවලු . පුළුවනි නම් එයාව අල්ල ගන්න බලන්න.


නිර්මාණය - ඉසුරු චාමර සෝමවීර​
මුල් පළකිරීම -  boondi.lk

Link -  http://kirikawadi.blogspot.com/2011/03/blog-post_31.html

Related Posts Plugin for WordPress, Blogger...