Saturday, March 7, 2015

තීරණාත්මක තිහ සහ​ විවාහ​ උභතෝකෝටිකය​...​​ Terrible Thirty and Marriage Controversy By Santush



සමරිසින් ගේ ජීවිතේ උපරිම සොඳුරු කාලය වයස අවුරුදු 18 - 30  කිව්වොත් කව්‍රුත් විරුද්ධ වෙන එකක් නෑ.
ඒ කාලෙදී උපරිම නිදහසක් කාටත් ලැබුනත් අපේ වගේ රටක උපරිම ලිංගික නිදහසක් ලැබෙන්නේ සමරිසින්ටයි.තාරුණ්‍යයේ ලස්සන, මූල්‍ය ස්වාධීනත්වය, සමාජයීය නිදහස වගේම ජීවීතේ ප්‍රථම හා හුඟක් සමරිසි අයට අවසාන වතාවට ලැබෙන ලිංගික නිදහසත් ඒ කාලයේ භුක්ති විඳින්න පුළුවන්.

ඒ කාලෙන්  පස්සෙ වයස අවුරුදු 30 ට ලං වෙනකොට හුඟක් කොල්ලො කෙල්ලො තමන් හොයා ගත්තු පෙම්වතියක් පෙම්වතෙක් නැත්තම් ගෙදරින් හොයල දුන්නු කෙල්ලෙක් කොල්ලෙක් එක්ක විවාහ ජීවිතය පටන් ගන්නවා.
මෙන්න මේ වයස අවුරුදු 30 ට ලංවෙන කාලෙදි තමයි  සමරිසි ලෙස ඉපදුනු කොල්ලන්ට කෙල්ලන්ට තමන් ගෙ ජීවිතය තවදුරටත් සමාජ යෙන් නිදහස් න​ෑ කියලා තේරෙන්න පටන් ගන්නෙ.

මේ වෙන කොට තමයි දකින දකින න​ෑයොයි යාළුවොයි office එකේ උනුයි ඉවරයක් නැතිව ප්‍රේමවන්තියො ගැන අහන්නයි, කසාදෙ ගැන අහන්නයි, මඟුල් යෝජනා ගේන්නයි පටන් ගන්නෙ.ඒත් එක්කම කොණ්ඩ ගස් එක දෙක ඉදෙන්නත්, ටික ටික කොණ්ඩෙ යන්නත්, ටික ටික බඩ එන්නත්, හැමෝටම ඒක පේන්නත් පටන් ගන්නෙ මේ කාලෙ ඉවර වෙනකොටම තමයි.

මෙච්චර කල් නොගැළපෙන කෙල්ලෙක් යාළු නොවුන එක ගැන සතුටු වෙවී හිටපු ගෙදර උදවියත් තනිකඩ කම ගැන දුක්වෙන්නත්, දරු මුණුබුරන්ට අසා වෙන්නත්, පරපුර ගෙනයාම ගැන හිතන්නත්, විවිධාකාර මංගල යෝජනා ගේන්නත් පටන් ගන්නෙ මේ කාලෙදි තමයි.
යාළුවන් ගේ wedding පෝලිමෙන් පස්සෙ තමන්ට වඩා බාල උන්ගෙ weddings වලට යන්න උනාම තමා මේ පීඩනය දෙගුණ වෙලා එන්නෙ.
තමන්ට පෙම්වතෙක් හිටියනම් ඌටත් මේ පීඩනයම අදාළ කාලෙදි උගේ පැත්තෙනුත් එන්න පටන් ගන්නවා.

මේක කියවන සමරිසි ඔබත් මේ තීරණාත්මක අවදිය පහු කරළා ඇති නැත්තම් පහු කරමින් ඇති නැත්තම් ඒ ගැන දැන්ම නොහිතුවත් ලඟදිම හරි පහුවට හරි මුහුණ දෙන්න සිදුවෙනවා ඇති.
ඉතින් ජීවිත ය ගැන තීරණයක් ගන්නම වෙනවා.විකල්ප කීපයක් තියෙනවා.එකෙන් එක ඇරන් බලමු.හැම එකේම හොඳ හා නරක පැති තියෙනවා.හොඳ නරක අඩු වැඩි වෙන එක තමා වෙනස​.

කොහොම උනත් හොඳට හිතල බලලා තමන්ට ඉන් එක තීරණයක් ගන්නම වෙනවා.හැබැයි තමන් ගෙ මුළු ජීවිත කාලෙම සතුට රැඳිලා තියෙන්නෙ ඔය ගන්න තීරණය මතයි.පස්සෙ තීරණය වෙනස් කරන්න පරක්කු වැඩි වෙන්න පුළුවන් හින්ද හොඳට හිතල බලන්නම වෙනවා.

1.) අකැමැති අනවශ්‍ය විවාහයකට ඇතුළත්  නොවී ඉඳීම

පළවෙනි විකල්පය තමයි කව්‍ රු මොනව කිව්වත් තමන් තමන්ට අවංක වෙලා අහක ඉන්න කෙල්ලෙක් අමාරුවේ නොදා තමන් අකැමැති අනවශ්‍ය විවාහයකට ඇතුළත්  නොවී ඉඳීම​.
මේක තමන්ට හොඳ පෙම්වතෙක් ඉන්නව නම් දෙන්නත් එක්ක හොඳට කතා කරල දෙන්නම එකට තීරණය කළොත් ලේසියි.ඕනෙ නම් සුදුසුකම් තියෙනවනම් දෙන්නට කතා කරගෙන පිට රටකට ගිහින් නිදහසේ කැමති විදියකට​ ඉන්නත් පුළුවන්.
හැබැයි සමරිසි අංශෙ හොඳ දිගුකාලීන පෙම්වත්තු ටිකක් අඩුයි.හැබැයි නැත්තෙමත් න​ෑ ඉතින්.
දියුණු බටහිර රටවල නම් හුඟක් සමරිසි අය ගන්නෙ මේ තීරණය​.උන්ට ඕනෙ නම් කසාද බඳින්නත්
පුළුවන්නෙ.



 හැබැයි ඉතින් මේ විකල්පයේ ප්‍රශ්න නැතුවා නෙවෙයි.
පවුලේ එකම පුතානම් පරපුරේ නම ගෙනියන්නත් අම්මා තාත්තා ආච්චි සීයා කෙනෙක් කරවන්න මුණුබුරෙක් හදන්නත් එපැයි.තමන්ට උවමනා නොවුනත් දෙමව්පියන්ට ඒක උවමනා වෙනවනෙ.
ඒ වගේම අද තියෙන පුංචි පවුල් එක්ක වයසක දෙමව්පි යො තනියම දාල රට යන්න බ​ෑනෙ.
ලංකාවෙ අවිවාහකව හිටියොත් හැමෝගෙන්ම ප්‍රශ්න කෝටියයි ඇයි බඳින්නෙ නැත්තෙ කියලා.කව්‍ රු මග​ෑරියත් කොහොම උනත් දෙමව්පියන්ට වත් ඒකට උත්තරයක් දෙන්න වෙනවා ඇයි මෙච්චර හොඳ මංගල යෝජනා ඇවිල්ලත් බඳින්නෙ නැත්තෙ කියලා.ඉතින් මොකක්ද කියන්න යන්නෙ?
 ඊට පස්සෙ ඉතින් වටේ පිටේ ඉන්න ලංකාවෙ උදවිය ඉතින් ඔය ගැන එක එක කතා හදන්න පටන් ගන්නව වෙන වැඩක් නැති එකේ.

ඒ වගේම තමන්ටම කියාලා හොඳ පෙම්වතෙක් මේ සමරිසි අංශෙ ලැබෙන්නෙ කලාතුරකින්.ඒකට වාසනාවක් තිබ්බොත් විතරයි.එහෙම උනාම වයසට ගියාම දෙමව්පියො නැති වෙලා තනි උනාම කොහොමද ජීවිතේට මුහුණ දෙන්නෙ කියන ප්‍රශ්නෙ එනවා.
හරියටම මේ උපන් දිනය කෙටි කතාවෙ කියවෙනවා වගේ.(ඒක කතාව​ අනිවාර් යයෙන් කියවන්න​.කියවලා තනියම දිගටම ඉන්න හිතනවනම් ඒදේ තමන් ට නොවෙන්න නම් කරන්න ඕනෙ දේ දැන්ම ඉඳන්ම කර ගන්න​.)



 ඔන්න ඔහොමයි පළවෙනි විකල්පෙ වාසි සහ අවාසි.

2.) ඕනෙ දෙයක් කියලා කෙල්ලෙක් බැඳ ගැනීම​.

දෙවෙනි විකල්පය තමයි ඕනෙ දෙයක් වෙච්චාවෙ කියලා කෙල්ලෙක් බැඳ ගැනීම​.
ඔන්න දැන් දෙමව්පියන්ට යි න​ෑයින්ට යි හරි සතුටුයි.
ටික කාලෙකින් ළමයෙක් හම් බ උනොත් හැමෝටම වඩාත් සතුටුයි.   ලෝකෙටම පේන්න ලස්සන​ සාමාන්‍ය පවුල් ජීවිතයක් ගෙනියනවා.දෙන්නත් එක්ක ජෝඩු දාලා මළ ගෙවල්,මගුල් ගෙවල්,දානෙ ගෙවල්, parties වලට යනවා.වයසට ගියාමත් ඉතින් ළමයෙක් හරි බලා ගනීවි නේ.



 හැබැයි හිතලා බලන්න ඔක්කොම සතුටු උනාට තමන් අස තුටෙන් ද කියලා.
ඔයා ද්විලිංගිකයෙක්(Bisexual) නම් බිරිඳක් එක්ක විවාහ ජීවිතයක් ගෙනියන එක ප්‍රශ්නයක් න​ෑ.ඒත් ඔයා සම්පූර්ණ සමරිසියෙක්(Gay) නම් ලිංගික ආකර්ශනයක් ඇති නොවන කාන්තාවක් එක්ක ජීවිත කාලයටම විවාහ ජීවිතයක් ගෙවන්න පුළුවන් ද​?
එහෙමනම් ඇයත් එක්ක නිදා ගන්න හැමවිටම තමන්වම තමන් දූෂණයට ලක් කර ගන්නවා කියලා තමන්ටම හිතෙයි.ඕනෙනම් ඉතින් විදේශ රැකියාවකට වගේ ගිහින් පොඩ්ඩක් නිදහස් වෙන්න පුළුවන්.එතකොට එයත් එක්ක ඉන්න වෙන්නෙ ලංකාවට එන ටික කාලෙදි විතරනෙ.
ලංකාවෙ කාන්තාවන් ප්‍රසිද්ධියේ ලිංගික අවශ්‍යතා වැඩිපුර කතා නොකරන බව ඇත්ත.ඒත් ඇගේ තරුණ කාලයේදීවත් ඇගේ  ලිංගික අවශ්‍යතා ඔබට සපුරා ලන්න වෙනවා.නැත්තං ඒක ඇයට කරන අසාධාරණයක් වගේම සමහර විට ඇය ඒ උදෙසාම වෙන පිරිමියෙකුට ලං වෙන්නත් බැරි න​ෑ.



 




ඒ ඇගේ.එතකොට ඔබේ ලිංගික අවශ්‍යතා.ඔබ සතුටු වෙන්නෙ පිරිමියෙක්ගෙන් විතර යි නම් ඔබ පවුලට හොරෙන් කොල්ලො හොය හොයා යනවද​?
එහෙම ගිහින් පවුලට අහු උනොත් මොනවා වෙයිද​?ජීවිත කාලෙදි උන ලොකුම ලැජ්ජාව විඳලා ප්‍රසිද්ධියේ දික්කසාද වෙන්න වෙයි.
හරියටම මේ ආදරණීය නිමාලි වෙතටයි කතාවෙ වගේ.(ඒ කතාව​ අනිවාර් යයෙන් කියවන්න​.කියවලා කෙල්ලෙක් කසාද බඳින්න හිතනව නම් ඒදේ තමන් ට නොවෙයිද කියලා හිතල බලන්න​​.)




3.)ලැවෙන්ඩර් විවාහ

තුන්වෙනි විකල්පය තමයි නාමික ලැවෙන්ඩර් විවාහ(Lavender Marriages).ඒ කියන්නෙ සමරිසි කොල්ලෙක් සමරිසි කෙල්ලෙක් බඳිනවා.බැඳලා දෙන්නා තම තමන් ගෙ වැඩ ටික කරගෙන නිදහසේ යාළුවො වගේ ජීවත් වෙනවා.දෙන්නට කතා බහ කරල කැමති නම් ළමයි හදන්නත් පුළුවන්.අද ෛවද්‍ය විද්‍යාවේ දියුණුවත් එක්ක දෙන්නට කායික සම්බන්ධතාවයක් නැතුව උනත් ළමයි හදන්න පුළුවන්නේ.(Queer as Folks කතාවේ gay කොල්ලෙකුයි lesbian කෙල්ලෙකුයි එකතු වෙලා ළමයි හැදුවා මතකද​?)
මේ ලැවෙන්ඩර් විවාහ තමයි බටහිර රටවල සමරිසි බව නීති ගත වෙන්න කළින් හුඟක් ප්‍රසිද්ධ සල්ලිකාර සමරිසින් භාවිතා කළේ.මේ ලැවෙන්ඩර් විවාහ(Lavender Marriages) කියන නමත් ඒ කාලෙයි පාවිච්චියට ආවෙ.(Google කරල බලන්න​.)
කෙල්ලෙක් කසාද බැඳලා හින්දා කව්රුවත් ප්‍රශ්න අහන්නවත් බලෙන් බන්දන්නවත් කතා හදන්න වත් එන්නෙ නෑ.දෙන්නම දෙන්න ගැන දන්න හින් ද අකැමැත්තෙන් ලිංගිකව එක්වෙන්නවත් බොරු රඟ ප​ෑම් කරන්නවත් ඕනෙ වෙන්නෙ නෑ.දෙන්නටම අවශ්‍ය දේවල් කර ගන්න කතා  බහ කරල නිදහස තියෙනවා.
(රනිල් ගෙයි ඔහුගේ බිරිඳ ෛමත්‍රී ගෙයි විවාහය මේ වගේ එකක් කියලා සමහරු කියනවා.)




හැබැයි ඉතින් මේකෙ ප්‍රශ්නෙ තමයි සමරිසි කෙල්ලෙක් හොයා ගැනීම​.
විද්‍යාත්මක සමීක්‍ෂණ වලට අනුව නම් සමරිසි කොල්ලො ගානට ලං වෙන්න සමරිසි කෙල්ලොත් ඉන්න ඕනෙ.
ඒත් ලංකාවෙ සමරිසි කෙල්ලො  සමරිසි කොල්ලො වගේ internet එකේ වත් FB එකේ වත් වැඩිපුර එළියට එන්නෙ න​ෑ.(සමහර විට ඒ straight කොල්ලන් ගෙන් බේරෙන්න බැරි හින් ද වෙන්න ඇති.)
කොහොමත් කෙල්ලො වැඩිය කොල්ලො තරම් sex හොය හොයා යන්නෙ න​ෑනෙ.ඒ වගේම​ සමරිසි කෙල්ලොත් හුඟක් වෙලාවට තමන් ගෙ partner කෙල්ලත් එක්ක පැත්තකට වෙලා ඉන්නවළු.
ඉතින් ඒ හින් ද සමරිසි කෙල්ලෙක් බඳින්න හොයා ගන්න ලේසි වෙන එකක් න​ෑ.
කව්රු හරි හම්බ උනත් සාම්ප්‍රදායික ජාති ,ආගම්,කුල මල වගේ සාම්ප්‍රදායික​ විවාහ ප්‍රශ්නත් ගෙවල් වලින් එන්න පුළුවන්.
ඒ වගේම ලිංගිකව නොඋනත් හැමදාම එකට ඉන්න වෙන හින් ද යාළුවෙක් වගේ fit කෙනෙක් වෙන්නත් ඕනෙ.



ඔන්න ඔහොමයි තත්වය​.
ඔය විකල්ප තුනෙන් තමන්ට ගැළපෙන්නෙ මොකක්ද කියල තීරණය කරන්න වෙන්නෙ තමන්ටමයි.ඒක එක එක්කෙනා තමන් ගෙ ජීවිතේ වඩා අගය කරන්නෙ මොකක්ද කියන එක මත තීරණය වෙනවා.කෙනෙකුට තමන් ගෙ නිදහස,අවංක බව ඔක්කොටම වඩා වැදගත් වෙන්න පුළුවන්,තවත් කෙනෙකුට ලෝකෙට පේන්න ගෙවන ජීවිතය වැදගත් වෙන්න පුළුවන්,තවත් කෙනෙකුට පවුලේ පැවැත්ම වැදගත් වෙන්න පුළුවන්.ඒක තම තමන් ගෙ පෞර් ෂත්වය​ (personality type),ඇදහීම් , වටිනාකම්, පවුල් පසුබිම මත තීරණය වෙන දේවල්.ඒත් තවත් ජීවිතයක් රවට්ටන්න , මුලා කරන්න තවත් කෙනෙකුට සදාචාරාත්මක අයිතියක් තියෙනවද කියන ප්‍රශ්නය නම් තියෙනවා.
මේ කාරණය සමරිසි හැමෝටම කවදහරි මූන දෙන්න වෙන ලොකුම ප්‍රශ්නය​.
ඒක හින් ද හැමෝම තම තමන් ගෙ අදහස් අත්දැකීම් දක්වන්න​.
ඒක අපි වගේම තවත් කෙනෙකුගේ ජීවිතය ලස්සනට ගොඩ නගා ගන්න උදව් වෙයි.

සන්තුෂ් Santush

Sunday, November 30, 2014

සමරිසි දේශපාලනය​ LGBT Politics

දැන් මැතිවරණ උණුසුමත් එක්ක හැමතැනම දේශපාලනය,ප්‍රජාතන්ත්‍රවාදය,යහපාලනය ගැන කතා වෙනවා  ගැන කතා වෙනවා.එක එක කොටස් තමුන් ගේ මතවාද ඉල්ලීම් ඉදිරිපත් කරනවා.
වර්තමානයේ හැමෝම තම තමන්ගේ ජන් ද මල්ල ඉදිරියේ තියමින් තම ඉල්ලීම් ලබා ගන්න ඉදිරිපත් වෙනවා.







ඕන​ෑම සමාජයක් ගත්තොත් වැඩිම සුළුතරය සමරිසි පුද්ගල යින්.මෙය කොයි සමාජයටත් පොදුයි.සුළුතර අයිතිවාසිකම් ගැන ඉහළින් කතා වෙන මේ යුගයේ වැඩියෙන්ම සිටින සුළුතරය ගැන ලංකා දේශපාලන යේ කිසිදා කතා වී න​ෑ

මීට ප්‍රධාන හේතුව සමාජීය කාරණා නිසා බොහෝ සමරිසි පුද්ගලයින් එළිපිට සංවිධානය වීමට ඇති අක​ැම​ැත්තයි.ඒක එක අතකට සාධාරණයි.
ඒත් දැන් තොරතුරු තාක්‍ෂණයේ දියුණුවත් එක්ක ප්‍රසිද්ධියේ අපහසුතාවයට පත් නොවී සංවිධානය විය හැකියි.
අද සමරිසි සංස්කෘතිය ප්‍රධානවම සංවිධානය වෙලා තියෙන්නේ අන්තර්ජාලය වටා.ඒක ඇත්තටම හොඳයි.පොදු සමාජයෙන් වෙනස් වූවන්ට තමා තනි නැති බව දැනෙන්නේත් තමා වැනිම අදහස් ඇති තමන් වැනිම තව බොහෝ පිරිසක් සිටින බව දැනෙන්නේ මෙවනි අනතර්ජාල සමාජ නිසා.




ශ්‍රී ලංකාවේ ජනගහණය 2012 ගණනයට අනුව 20,263,723 .
විද්‍යාත්මක දත්තයන්ට අනුව ලෝකයේ ඕන​ෑම සමාජයක අවම වශයෙන් 1.5 % වත් සම්පූර්ණයෙන්ම සමරිසි පුද්ගලයන්.ඒ අනුව​ 303 955 සමරිසි පුද්ගලයින් ලංකාවේ සිටිනවා.
මෙය උදාහරණයක් වශයෙන් 2010 මැතිවරණයේදී කොළඹ​ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 06ක් දිනා ගත් ජන් ද සංඛාවට සමානයි.මුළු ලංකාවම ගෙන බැලුවොත් දළ වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයකට අවශ්‍ය ඡන් ද 90 060.


දැන්ම නොවුනත් මෙය යථාර්තයක් කරගත හැකි, කර ගත යුතු ක්‍රියාවලියක්.
ඇයි කියනාවනම් දේශපාලන නියෝජනයකින් තොරව කිසිදා කිසිදු ඉල්ලීමක් දිනා ගත නොහැකි නිසා.

Referance - http://en.wikipedia.org/wiki/Sri_Lankan_parliamentary_election,_2010

Tuesday, November 18, 2014

සමකෝණී ත්‍රිකෝණයක සමකාමී ආදරයක්- "ෆ්‍රැන්ජිපානි" ... By Damith Welikala

සමරිසි,සමකාමී බව පිළිබඳව ඇත්ත තියෙන සයපෙති අරලියා ගැන කතා කරන හොඳ ලිපියක් boondi.lk එකේ කියවන්න ලැබුනා.ලියලා තියෙන්නේ දමිත් වැලිකල​
මේ එහි උපුටා ගැනීමක්.

 සමකෝණී ත්‍රිකෝණයක සමකාමී ආදරයක්- "ෆ්‍රැන්ජිපානි" ...දමිත් වැලිකල​









ඔහු නමින් චමත් ය. එහෙත් ඈ ආදරයට ඔහු ඇමතුවේ බස්සා යන සුරතල් නාමයෙනි. ඈ සරසි හෙවත් ඉස්සි ය. ඉස්සීගේත් බස්සාගේත් ආදරය අතරට පැමිණෙන කඩවසම් ආගන්තුකයා නලීන් ය. චමත් සහ නලීන් කෙමෙන් මෝරා වැඩෙන මිතුදම විනිවිදිමින් ලාලසාත්මක සමකාමී ප්‍රේමයකින් වෙළෙති. ඒ අතරම ඔවුන් සරසිගේ ආදරය කේන්ද්‍ර කරගනිමින් භ්‍රමණය වන ප්‍රේමවන්තයන් දෙදෙනෙකු ද වේ. කාලයාගේ ඈවෑමෙන් නලීන් හා සරසි යුග දිවියට එළැඹෙති. හුදෙකලා වන බස්සා ස්වකීය ජීවිතාභිලාෂය සොයා උඩුගම් බලා පිහිනන්නෙකු බවට පත්වේ. අනේකවිධ හැලහැප්පීම් කම්කටොළු මැදින් ඔවුන්ගේ තුන්කොන් ආදරය ගලා යයි. එහෙත් මේ ආදර කතාව සුඛාන්තවත්ය. දිගු වන්දනා ගමනක අවසානයේ තිදෙනාම‍ නැවතත් මුලින් සිටි තැන්වලමය. මේ වූ කලී ෆ්‍රැන්ජිපානි කතා වස්තුවයි.

සාම්ප්‍රදායික ත්‍රිකෝණගත ප්‍රේමාන්දරයකින් ෆ්‍රැන්ජිපානි වෙනස් වන්නේ එහි මූලික ධාරණාව එක්තරා සුවිශේෂී වූ මානුෂීය සාරයක් කැටි කරගන්නා බැවිනි. සමකාමීත්වය හා සමකාමී ආදරය මූලික වශයෙන් ‍ෆ්‍රැන්ජිපානි තුළ දෝලනය වන්නා වූ වස්තු විෂයන් ලෙස දැකිය හැකිය. සමකාමීත්වය සමලිංගිකත්වය ලෙස ප්‍රනිශ්චය වී තිබීම මහා සංස්කෘතික ආප්තයන්ගේ එක්තරා වැරදි පූර්වාදර්ශයකි. සමකාමී ආදර සම්බන්ධයක් අශ්ශීල, ජුගුප්සාජනක මානසික විකෘතියක් ලෙස විග්‍රහ කරනු ලබන්නේ ද යට කී මහා ‘ශුද්ධ’ සංස්කෘතිය විසින් අධිනිශ්චය කරනු ලැබූ ප්‍රකෘති යැයි අප හඟින මානව චර්යාවන්ගේ නිර්නායකයන්ට එය අනුකූල නොවන හෙයිනි. සමකාමීත්වය සපුරාම අනිච්ඡානුගත මනෝභාවයක් වන අතර එය මානවීයත්වයේම එක්තරා සුවිශේෂී දිගුවක් ලෙස අවබෝධ කරගැනීම මෙවැනි කතා සන්දර්භයකට පිවිසීම සඳහා වඩා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයක් අපට සපයයි.


"මේ චිත්‍රපටයෙන් කියැවෙන දේ ගැන කවුරු හරි මගෙන් ඇහුවොත් මම කියන්නෙ මේක ‘ආදරය සහ ප්‍රජාතන්ත්‍රවාදය’ ගැන කතාවක් කියල." ඒ චිත්‍රපටයේ අධ්‍යක්ෂ විසාකේස චන්ද්‍රසේකරම්ගේ හඬය.

සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතරයේ කැමැත්ත ලෙස නිගමනය කිරීමම එක්තරා අතකට ප්‍රජාතන්ත්‍ර විරෝධී අර්ථකථනයකි. බහුතරයේ කැමැත්ත මත සියල්ල තීරණය වන සමාජයක සුළුතරයේ අභිලාෂයන් මහා ප්‍රවාහයේ සෙවණැල්ල තුළ සැඟවී යාම සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් විසින් අනුදක්නා යුතු තත්වයක් නොවේ. අනෙක් අතට, බහුතරයේ ස්වභාවික කැමැත්ත ලෙස ප්‍රනිශ්චය වී ඇති සංස්කෘතික භාවිතාවන් තුළ සුළුතරයේ ඊට සාපේක්ෂව ‘වෙනස්’ අභිලාෂයන් අසංස්කෘතිකවත් හෝ අශ්ශීලත්වයන් ලෙසට නිර්වචනය වීම ද සැබෑ ප්‍රජාත්න්ත්‍රවාදී සමාජයක් විසින් ප්‍රශ්න කළ යුතු තත්වයකි. සුළුතරයක් විසින් බහුතරයට වඩා වෙනස් මතයක් නියෝජනය කළ පමණින් ඔවුන් හැම විටම බහුතර අනෙකා යටතේ පීඩිත ප්‍රජාවක් බවට පත්වීමේ තත්වය සාම්ප්‍රදායික අර්ථරාමු තුළ අවිඥානිකවම පිළිගැනෙන තත්වයකි. එමෙන්ම බහුතර කැමැත්ත තුළ ඔවුන්ගේ ආධ්‍යාශයන් දිය කර හැරීමට සිදුවන්නේ නම් හෝ සමාජමය වශයෙන් හුදෙකලාභාවයකට පත්වීමට ඔවුන්ට සිදුවේ නම් එතැන සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් හෝ සමාජ සාධාරණත්වයක් පැවතිය නොහැක. නියම ප්‍රජාතන්ත්‍රවාදය යනු සුළුතර අයිතිවාසිකම් කඩනොවන පරිදි බහුතර කැමැත්තට ඉඩ දීමේ ‘කලාවකි’. ‍එහෙත් ලංකාව වැනි දුර්වල දේශපාලන සංස්කෘතියක් ඇති රටක සුළුතර අයිතිවාසිකම් පිළිබඳ කතා කිරීමම අතුරේ යෑමක් වැනි වැඩකි. එවැනි සන්දර්භයක් තුළ සමකාමී අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම යනු දැලි පිහියෙන් කිරි කන අතරේ අතුරේ යෑමක් තරම් මාරාන්තික වූවකි. එහෙත් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් කලාව විසින් ඇති කළ යුතු කතිකාව කොතැනින් හෝ ඇරඹිය යුතුව ඇත. ෆ්‍රැන්ජිපානි ඔස්සේ සිනමාකරු නියැළෙන්නේද එවැනි වූ ප්‍රජාතන්ත්‍රවාදී කලාවක් උදෙසා සාමූහික චින්තනය පුළුල් කිරීමේ වෑයමකය.







නලින්ගේ ආගමනයෙන් වෙනස් වන්නා බවට පත්වන්නේ චමත්ය. එතෙක් ඔහුගේ චරිතාභ්‍යන්තරය තුළ සැඟව තිබූ ඇතැම් ගූඪ චිත්තයන්ට සැබෑ අර්ථයක් සැපයෙන්නේ නලීන්ගේ පැමිණීමත් සමඟය. නිය ආලේපන ගැල්වීමෙන් ඔහු ලබන ප්‍රමෝදයේ සිට සමකාමීන් වෙනුවෙන් පෙනී සිටීම දක්වා වූ චමත්ගේ චරිතයේ අතීත සංසිද්ධීන් නලීන්ගේ පැමිණීමෙන් පසු වඩාත් අර්ථවත් වන්නට පටන් ගනී. සරසි හා චමත්ගේ ප්‍රේමය ද දෙදරා යන අතර නලීන්ගේ ඇසුරෙන් පසු චමත් ඍජුවම සමකාමියකු බවට රූපාන්තරණය වෙයි. සරසිට හිමි වන්නට තිබූ ඔහුගේ ආදරය ඉඳුරාම නලීන් වෙනුවෙන් පුද කරන්නට චමත් පෙළැඹේ. ආපසු ගම්රට බලා යන්නට බසයට ගොඩවන මොහොතේ චමත් නලීන්ගේ කණට කොඳුරන්නේ ආදරණීය තරවටුවකි. ‍

"මාව අමතක කරොත් මං උඹව මරනවා"

සමකාමීත්වයට ලාංකේය සමාජසංස්කෘතික ප්‍රවාහයන් වෙතින් එල්ල වන උග්‍රතර ප්‍රතිවිරෝධය සූක්ෂම ලෙස ඉස්මතු කරන්නට සිනමාකරු සමත් වෙයි. චමත්ගේ පෙරළිය මානසික විකෘතියක් ලෙස වටහා ගන්නා පවුලේ උදවිය තොවිල්පවිල් ආදිය මඟින් පවා ඔහුගේ ‘විකෘතිය’ මැඩ පවත්වන්නට ගනු ලබන වෑයම උපහාසාත්මක ලෙස ඉස්මතු කෙරෙයි. චමත්ගේ ජීවන ආධ්‍යාශය උපේක්ෂාවෙන් යුතුව වටහා ගන්නේ ඔහුගේ මව පමණකි. චමත් නිසා ඇති වූ නින්දාව හේතුවෙන් සංතාපයටත් කෝපයටත් පත් වැඩිමහලු සොයුරා ඔහුට පහර දෙන්නට වූ විට මව චමත් බේරා ගන්නේ ඔහු මිනීමරුවෙකු හෝ ත්‍රස්තවාදියෙකු නොවන බව කියමිනි. භික්ෂුවක වන චමත්ගේ අනෙක් සොහොයුරා ද ඔහුගේ ජීවන ගමන්මඟ පිළිබඳ මනා ලෙස අවබෝධ කර ගත්තෙකු සේ නිරූපිතය. සමාජ අපවාදයෙන් මුදවනු පිණිස චමත් නගරයට ඇරලවනු ලබන්නේ ද සොයුරු භික්ෂුව විසිනි.

නලින්-සරසි විවාහයෙන් පසු හුදෙකලාවන චමත් සමකාමියෙකු ලෙස ස්වකීය ජීවිතය ගත කිරීමට ගන්නා උත්සහය හා ඒ තුළ ඔහු මුහුණ පාන්නා වූ අනේකවිධ ගැහැටකම්කටොළු සංවේදනාත්මක සිනමා රූප පෙළක් ලෙසින් අප ඉදිරියේ දිග හැරෙන්නට සලස්වනු ලැබේ. සංස්කෘතික විනිශ්චයන්ගෙන් හා බන්ධනයන්ගෙන් ඔද්දල්ව මහා සමාජයෙන් පළා යන චමත් සමකාමී සමාජය විසින් සාදරයෙන් පිළිගනු ලබයි. ඔහු සිය ජීවිතේ අර්ථය අවබෝධ කරගනු ලබන්නේ එතැනින් පසුවය.

නලීන් සමකාමියෙකු වුවත් ඔහුගේ අභිලාෂයන් තරමක වෙනස් හැඩහුරුකමක් ගනී. ස්වකීය හැඟීම් එළිදරවු වනවාට ඔහු අකමැතිය. ඔහුට අවශ්‍ය වන්නේ සාමාන්‍ය මිනිසෙකු ලෙස ජීවත් වීමටය. චමත්ගේ සමකාමී ආදරය ද මඟහරිමින් සරසි හා විවාහ වන්නේ ඔහුගේ පුද්ගල අභිලාෂයන් ඒ ඔස්සේ මුදුන් පමුණුවා ගැනීමේ අරමුණ ඇතිවය. එහෙත් විවාහයෙන් ටික කලකට පසු නලීන් චමත් සොයා නගරයට පැමිණෙන්නට වන අතර ඔවුහු යළිත් සුපුරුදු සමකාමී කායික ප්‍රේමයෙන් බැ‍ඳෙති. මෙකී සිද්ධි දාමය හා සසඳන විට The Falls: Testament of Love සිනමා කෘතිය සහ ෆ්‍රැන්ජිපානි අතර කිසියම් දූරස්ථ වූ සමානකමක් පෙනී යා හැකිය. එහි හමුවන ක්‍රිස් සහ ආර්ජේ ෆ්‍රැන්ජිපානි හි නලීන්, චමත් මෙන් සමාන්තර තත්වයන්ගෙන් ගොඩනැංවී ඇති චරිත යුගයලකි.







ලංකාවේ සමලිංගික චර්යාවන්ට අදාළව පවත්නා නීතිමය අඩුලුහුඬතාවන් ද සිනමා කෘතිය ඔස්සේ පෙනෙන්නට සලස්වා ඇත්තේ එවැනි සිද්ධියක් මූලික කරගනිමින් නලීන් සිරභාරයට පත්වීම හා බැඳුනු සිදුවීම් දාමය තුළිනි. නලීන් නෛතික දණ්ඩනයෙන් නිදහස් වුවත් ඒ කරණ කොට ගෙන ඔහුගේ විවාහ සංස්ථාව බිඳී යන්නට පටන් ගනී. සමාජ අපවාදයට ද ලක්වේ. මෙය වූකලී, සමකාමීත්වය සම්බන්ධයෙන් නීතියට වඩා සමාජ සංස්කෘතික සම්මතයන්ගේ තීව්‍රතර භාවය බලපවත්වන බව පෙන්වන අවස්ථාවක් සේ සැලකිය හැකිය.


ෆ්‍රැන්ජිපානි තුළ තේමාත්මක සංකේතය වන්නේ සය පෙති අරලියා මල පිළිබඳ රූපකයයි.

"මේ අරලියා මලට පෙති හයයි. කොහොමද එහෙම වෙන්නෙ? අරලියා මලට පෙති පහයිනෙ"

"පෙති හයේ අරලියා මලුත් තියනව"


සමකාමීත්වය පොදු මානව ධර්මතාවයන්ගෙන් වෙසෙසි වූ, එහෙත් එය නොඉක්මවන තත්වයක් බව සිනමාකරුවා අප හමුවට ගෙනෙන්නේ එවැනි සෞන්දර්යාත්මක රූපකාර්ථවත් ඉඟියකිනි. සය පෙති කුසුමක් වුව එයද එකසේ සුවඳැති අරලියා මලකි. අරලියා මල හැම විටම අරලියා මලක් වීමම මිස මල් පෙත්තක වෙනස හුවා දැක්වීමේ අරුත කුමක්ද?

සමකාමී අයිතීන් කලාව ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවන් තුළට ගෙන ඒමේ ප්‍රවණතාව අද වන විට ලෝක මට්ටමෙන් දක්නට ලැබෙන තත්වයකි. එහෙත් ලංකාවේ පවතින තත්වය හමුවේ මෙවැනි සිනමා කෘති සම්බන්ධයෙන් ඇතිවිය හැකි තත්වය බොහෝවිට කණගාටුදායක විය හැකිය. එසේ වුවද ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් කලා භාවිතාවන් ප්‍රවණතාත්මකව වර්ධනය කිරීමත් ඒ වෙනුවෙන් පෙනී සිටීමත් අද දවසේ කලාව වෙනුවෙන් පෙළගැසෙන්නන් විසින් අත්‍යවශ්‍යයෙන්ම කළ යුත්තක් බව අවධාරණය කළ යුතුමය.
Related Posts Plugin for WordPress, Blogger...